රුසියානු යානය බිම දැමීම ගැන කණගාටුයි - තුර්කිය

Image caption තුර්කි ජනාධිපති එර්දෝගන්

පසුගිය අඟහරුවාදා සිරියානු දේශ සීමාවේ දී සිය හමුදා විසින් රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළනු ලැබීම පිලිබඳ කණගාටුව වන බව තුර්කි ජනාධිපතිවරයා පවසයි.

එවැනි පහරදීමක් සිදු නොවිණි නම් එය යහපත් වන තර එවැන්නක් නැවත සිදු නොවනු ඇතැයි තමා සිතන බවයි තුර්කි ජනාධිපති එර්ඩෝගන් පවසන්නේ.

කෙසේවුවද ,යානය බිම හෙළනු ලැබීම සම්බන්ධයෙන් තුර්කි ජනාධිපතිවරයා සමාව අයැදීමක් සිදු කර නොමැත.

අත්‍යවශ්‍ය නොවන චාරිකා සඳහා රුසියාවට යෑමෙන් වැලකී සිටින ලෙස තුර්කිය තම ජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබුණ අතර ඉන් අනතුරුවයි ජනාධිපති එර්ඩෝගන් සිය කණගාටුව පළකොට ඇත්තේ.

Image copyright AP
Image caption තුර්කි ප්‍රහාරයෙන් මිය ගිය රුසියානු ගුවන් නියමුවාට උපහාර

මොස්කව් අගනුවර තුර්කි තානාපති කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතා ව්‍යාපාර හමුවේ ‘තත්වය යහපත් වනතෙක්’ රුසියාවේ සංචාරය කිරීමෙන් වලකින ලෙස තුර්කි විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණි.

තුර්කි ජාතිකයන්ට වීසා රහිතව රුසියාවට ඇතුල්වීමට දී ඇති අවස්ථාව නවතා දමා ඇති අතර 'අන්කාරා' පාලනයට එරෙහිව පුළුල් මට්ටමේ ආර්ථික සම්බාධක පැනවීම පිළිබඳව ද රුසියාව සැලසුම් කරමින් සිටින බවත් වාර්තා වෙයි.

ඉස්තාම්බුල් නුවර සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ තුර්කි ජනාධිපතිවරයා “S” වචනයක් (sadness-කණගාටුව ) භාවිතා කළත් එය රුසියානු ජනාධිපති පුතින් බලාපොරොත්තු වූ ‘s’ වචනය (sorry- සමාව ) යන්න නොවූ බවයි.

තුර්කියේ දෙවන විශාලතම වෙළඳ ගනුදෙනු කරුවා රුසියාව වන අතර දෙරටම ආර්ථික වශයෙන් එකිනෙකා මත යැපෙන තත්වයක් ඇති බවයි බීබීසී වාර්තාකරු පවසන්නේ.

Image caption තුර්කියට එරෙහි මොස්කව් හඬ

රුසියානු ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් අවශ්‍ය බව තුර්කි ජනාධිපතිවරයා පවසා ඇතත් ඊට පෙර තුර්කිය සමාව ගත යුතු බවයි රුසියානු ජනාධිපති පුතින් කියා සිටින්නේ.