ඔස්කා පිස්ටෝරියස් සාපරාධී මනුෂ්‍ය ඝාතනයට වරදකරු

Image copyright Reuters

දකුණු අප්‍රිකානු ආබාධිත ක්‍රීඩක ඔස්කා පිස්ටෝරියස් සිය පෙම්වතිය වූ රීවා ස්ටීන්කැම්ප් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු බවට එරට ඉහලම අභියාචනාධිකරණය තීන්දු කරයි.

මීට කලින් ඔහු මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා යටතේ වැරදිකරු බවට තීන්දු කොට තිබිණ.

ඔස්කා පිස්ටෝරියස්ට යළි දඬුවම් පැමිණ විය යුතු බවට විනිශ්චයකාරවරුන් පස් දෙනකුගෙන් සමන්විත විනිසුරු මණ්ඩලය විසින් නිර්දේශ කෙරිණ.

එහෙත් දඬුවම් පැමිණවීම ලබන මාසය තෙක් සිදු නොකෙරේ.

Image copyright Reuters

2013 පෙබරවාරි 14 වෙනිදා, පෙම්වතුන්ගේ දිනයෙහි, ආබාධිත ක්‍රීඩක ඔස්කා පිස්ටෝරියස් විසින් සිය පෙම්වතිය වූ රීවා ස්ටීන්කැම්ප් වෙඩි තබා මරා දමන ලදී.

ඔස්කා පිස්ටෝරියස් අධිකරණය හමුවේ කියා සිටියේ සිය නිවසට රහසිගතව ඇතුල් වූ පුදගලයකු යයි වරදවා වටහා ගැනීමෙන් තමා එම වෙඩි තැබීම සිදු කළ බවයි.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ලොරිම(ර් ) එරික් ලීච් (Lorimer Eric Leach), ප්‍රකාශ කළේ සාපරාධී ක්‍රියාවක් කිරීමේ චේතනාවෙන් ඔහු මාරාන්තික වෙඩි තැබීමක් සිදු කළේය යන නිගමනය මත ඔස්කා පිස්ටෝරියස් ඝාතනයට වැරදි කරු බවට තීන්දු කළ යුතුව ඇති බවයි.

එය සාධාරණ නඩු තීන්දුවක් බවත් තමන්ට අස්වැසිල්ලක් ලැබුණු බවක් දැනුණු බවත් නඩු තීන්දුව දීමෙන් පසු කතා කළ රීවා ස්ටීන්කැම්ප් ගේ පියා බැරී ස්ටීන්කැම්ප් පැවසුවේය.