අප්‍රිකාවේ සංවර්ධනයට චීනයෙන් ඩොලර් කෝටි හයදාහක්

Image copyright XINHUA
Image caption චීනයේ සහ දකුණු අප්‍රිකාවේ නායකයන්

අප්‍රිකානු රටවල සංවර්ධනය සඳහා ඩොලර් කෝටි හයදාහක මූල්‍ය සම්භාරයක් සැපයීමේ වැඩ පිළිවෙළක් චීන ජනාධිපති ෂි ජින්පින් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් අගනුවර පැවැත්වුන සාකච්ඡාවක දී අදහස් දැක්වූ චීන ජනාධිපතිවරයා කියා සිටියේ ප්‍රධාන ව්‍යාපෘතීන් දහයක් සඳහා එම මුදල් සපයන බවයි.

චීන නායකයා ප්‍රකාශයට පත් කළ පරිදි කෘෂිකර්මය සෞඛ්‍යය සහ යටිතල පහසුකම් ආදී ක්‍ෂේත්‍රයන්හි සංවර්ධනය ඊට ඇතුළත් වෙයි.

මේ වැඩ සටහනේ තවත් අංගයක් වන්නේ අප්‍රිකානු මහාද්වීපයේ අඩු සංවර්ධිත රටවල ඇතැම් ණය අවලංගු කිරීමට චීනය පියවර ගැනීමයි.

එසේම පොලී රහිත ණය සැපයීම මෙම සැලසුමට අන්තර්ගත තවත් ක්‍රියාමාර්ගයකි.

Image copyright Reuters
Image caption චීන ජනාධිපතිවරයා සිම්බාබ්වේ නායක රොබට් මුගාබේ සමඟ

පසුගිය වසර කීපය ඇතුළත චීනය අප්‍රිකානු රටවල් සමඟ ඉතා කිට්ටු සබඳතා වගා කර ගත් අතර ඉහත කී මූල්‍ය පැකේජය ප්‍රකාශයට පත් කරනු ලැබුණේ චීන ආර්ථිකයේ පසුබෑමක් පවතින අතරවාරයේ එම තත්වයත් නොතකා හරිමිනි.