පැරිස් දේශගුණ සමුළු පළමු කෙටුම් පතට නියෝජිත අනුමැතිය

Image copyright AFP

ගෝලීය උණුසුම ඉහළ යෑම මැඩ පවත්වා ගැනීම සඳහා සම්මුතියක් ඇති කර ගැනීමට අවශ්‍ය යෝජනා ඇතුළත් කෙටුම්පතේ පළමු පිටපතට ලෝක පරිසර සමුළුවේ නියෝජිතයෝ අද අනුමැතිය පළ කළහ.

පිටු 48 කින් සමන්විත පළමු කෙටුම්පත ලබන සඳුදා ඇමතිවරුන් විසින් සාකච්ඡාවට ගනු ලැබීමට නියමිත අතර ලබන සතිය අවසාන වන විට ඔවුන් පුර්ණ එකඟතාවයක් ඇති කර ගැනීමට උත්සාහ දරනු ඇතැයි බලාපොරොත්තු පළ වෙයි.

එකිනෙකට පරස්පර යෝජනා ගණනාවක් මෙම කෙටුම්පතේ අඩංගු බවත් වාර්තා මගින් පැවසෙයි.

පරිසර ගිවිසුමක්

මෙම කෙටුම්පත ප්‍රඥප්තියක් බවට පත් කර ගැනීම සඳහා සහාය වන්නැයි දේශගුණ සමුළුවේ ප්‍රංශ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ලොරෙන්ස් ටුබියානා ඉල්ලා සිටියාය.

'ලබන සතියේ සියලු දෙනා එක්ව කෙටුම්පත් කර සියලු දෙනා වෙනුවෙන් එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා සැමදෙනා තුලම තිබෙන අපේක්ෂාව මෙම ලියවිල්ලෙන් ගම්‍ය වෙනවා. අපි තවමත් මේ උත්සාහයේ නිමාවකට පැමිණ නැහැ. ඉතා වැදගත් දේශපාලන තීන්දු තවම අරගෙන නැහැ'ලොරෙන්ස් ටුබියානා පවසන්නීය.

ලෝක අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින අජටාකාශගාමින් සහ හිටපු ගගනගාමීන් ඉදිරිපත් කළ වීඩියෝ පණිවිඩයක් ද සමුළුවට එක්ව සිටින නියෝජිතයන් විසින් නරඹනු ලැබුණි.

දේශගුණ සමුළුවේ ක්‍රියාකාරී කමිටු මට්ටමේ සාකච්ඡා ඊයේ (04) අවසන් වූ අතර අද දිනය (05) අවසාන වන විට පැරිස් ප්‍රකාශනයේ යෝජිත කෙටුම්පත සමුළු සභාපති ධුරය දරන ප්‍රංශ ආණ්ඩුව වෙත භාර දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

නෛතික බැඳීම

හරිත වායු මුදා හැරීම සම්බන්ධයෙන් නෛතික බැඳීමක් සහිත සීමා පැනවීම කෙරෙහි ඇමෙරිකාව දිගින් දිගටම අකමැත්ත පළ කලත් එම යෝජනාව පැරිස් ප්‍රකාශනයට ඇතුළත් කෙරෙනු ඇතැයි පරිසරවේදීහු විශ්වාසය පල කරති.

ගෝලීය උණුසුම අංශක එකයි දශම පහකින් හෝ දෙකකින් පාලනය කිරීම පිළිබඳව තවමත් සාකච්ඡා සිදු කෙරෙන අතර, අංශක දෙකකින් ගෝලීය උණුසුම ඉහළ යෑම ඉතා භයානක තත්ත්වයක් ලෙස සමුළුව විසින් හඳුනාගනු ලැබ ඇති බවයි පැරිස් නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.

පැරිස් දේශගුණ සමුළුව මෙම (දෙසැම්බර්) එකොළොස් වෙනිදා තෙක් පැවැත්වෙයි.

සමුළුවේ දෙවන සතිය ලබන සඳුදා ආරම්භ වන අතර එම සතියේ සාකච්ඡා ඉදිරියට ගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් ප්‍රංශය සිය යෝජනා ඉදිරිපත් කරනු ඇත.