සීපා ගිවිසුම අත්සන් තබන්නේ නැහැ - අගමැති

Image copyright pmindia
Image caption ඉන්දියාව සමග නව ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක් අත්සන් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් අගමැතිවරයා කියා සිටියේය

ඉන්දියාව සමඟ වෙනත් නමකින් සීපා ගිවිසුම අත්සන් කරන්නට යන බවට ශ්‍රී ලංකා ආණ්ඩුවට එල්ලවන චෝදනා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කරයි.

වෙනත් නමකින් සීපා ගිවිසුම අත්සන් කරන්නට යන බවට ඇතැම් පිරිස් විසින් අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කරන බව පැවැසූ අග්‍රාමාත්‍යවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

"රජයේ වෛද්‍ය නිලධාරී සංගමය චෝදනා කරන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනත් නමකින් ඉන්දියාව සමග සීපා ගිවිසුම අත්සන් කරන්නට යන බවයි. මේ සීපා ගිවිසුම මගින් රැකියා නැති ඉන්දීය වෘත්තිකයන්ට ශ්‍රී ලංකාවේ රැකියා කරන්නට අවස්ථාව ලැබෙන බවයි," අගමැතිවරයා සඳහන් කළේ පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කරමින්.

ඒ වෙනුවට ඉන්දියාව සමඟ නව ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක් අත්සන් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් ඔහු පැවසීය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි අගමැතිවරයා පවසන්නේ.

"මගේ ඉන්දීය සංචාරයේදීත් අප මේ ගැන සාකච්ඡා කළා. අප එහිදී කියා සිටියේ අපේ ගිවිසුම භාණ්ඩ සහ තාක්‍ෂණ ක්ෂේත්‍ර සඳහා පමණක් විය යුතු බවයි. වෘත්තීය සේවාවන් සඳහා එය වලංගු නොවිය යුතු බව අපගේ මතය වුණා."

ඉන්දියාව සමඟ අත්සන් තැබීමට බලාපොරොත්තු වන ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමට සමාන ගිවිසුමක් චීන ආණ්ඩුව හා අත්සන් තැබීමට බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර