මියන්මාරය: හමුදාව බලය අතහරින ලකුණු

Image copyright EPA

මියන්මාරයේ මැතිවරණයෙන් ජය ගත් අවුන් සාන් සුචී ගේ පක්ෂයට රටේ පාලන බලය පැවරීම සඳහා අවශ්‍ය කටයුතු කර ගෙන යාමට එරට ජනාධිපතිවරයා පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

ජනාධිපති තෙයින් සෙයින් ගේ සමීපතම ආධාරකරුවන්ගෙන් සමන්විත මෙම කමිටුව, මැතිවරණය ජය ගත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය සමඟ සම්බන්ධීකරණ කටයුතු කරනු ඇත.

Image copyright EPA
Image caption ජනාධිපති තෙයින් සෙයින්

ජනාධිපතිවරයා ගෙන ඇති මෙම පියවර, හමුදා සහාය ඇතිව පිහිටුවා ගත් ආණ්ඩුව බලය අතහැරීමට සුදානම් බවට ලැබෙන සහතිකයක් ලෙස රටේ බොහෝ පිරිස දකින බවයි එහි සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ.

1990 දී මියන්මාරයේ පැවති මැතිවරණයේ ප්‍රතිඵල ඉවත ලා අවුන් සාන් සුචී නිවාස අඩස්සියේ තැබීමට එරට හමුදාව පියවර ගත්තේය.

පසුගිය දා පැවති මැතිවරණයෙන් ඇයගේ පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගත් නමුත් අවුන් සාන් සුචීගේ දරුවන් සහ ස්වාමියා බ්‍රිතාන්‍ය පුරවැසියන් වන හෙයින් ඇයට ජනාධිපති ධුරය දැරීමට ව්‍යවස්ථාවෙන් අවසරයක් නැත.