'බුරුන්ඩියට යන්න එපා' - ඇමරිකානුවන්ට අවවාදයක්

දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වීම නිසා බුරුන්ඩි රාජ්‍යයේ සංචාරය නොකරන ලෙසට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඇමරිකානුවන්ට අවවාද කරයි.

දැනට එහි ගොස් සිටින ඇමරිකානුවන්ට එරටින් වහාම පිට වන ලෙස ද එක්සත් ජනපද බලධාරීහු ඉල්ලා සිටියහ.

පසුගිය අප්‍රේල් මාසයේ සිට ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වූයේ බුරුන්ඩියේ ජනාධිපතිවරයා තුන්වැනි වතාවටත් ජනාධිපති ධුරය සඳහා තරඟ කරන බව නිවේදනය කිරීමත් සමඟයි.

ජනාධිපතිවරයාට තුන් වැනි වතාවටත් තරඟ කිරීම සඳහා ඉඩ සලසා දෙමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන් අතර එහිදී විනිසුරුවන් බිය ගන්වා ඇති බවට වාර්තා පළ විය.

එම අධිකරණ තීන්දුව නිකුත් වීමත් සමඟ ඊට විරෝධය පාමින් දහස් ගණන් ජනතාව වීදි බැස උද්ඝෝෂණය කරන්නට පටන් ගත්හ.

මේ අතර තුර රටේ බලය ලබා ගැනීමට හමුදා කුමන්ත්‍රණයක් දියත් වූ අතර එයද අසාර්ථක විය.

Image copyright Reuters

කෙසේ නමුත් පසුගිය ජූලි මාසයේ දී ජනාධිපතිවරණය පැවැත්වුණු අතර ඉන් හිටපු ජනාධිපතිවරයාම යළිත් තේරී පත් විය.

මෙම මැතිවරණ ප්‍රතිඵලය පිළිගැනීම විපක්ෂ කණ්ඩායම් ප්‍රතික්‍ෂේප කළ අතර එවක් පටන් අද දක්වා දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වෙමින් පවතී.

මෙහි අලුත්ම සිදුවීම වූයේ පසුගිය සිකුරාදා හමුදා කඳවුරු තුනකට වෙඩි ප්‍රහාරයක් එල්ල වීමයි.

එහිදී ඇතිවූ වෙඩි හුවමාරුවේ දී අසූ හත් දෙනෙකු මරණයට පත් විය.

මධ්‍යම අප්‍රිකාවේ පිහිටි බුරුන්ඩිය ලෝකයේ දෙවැනි දුප්පත්ම රාජ්‍යයයි.