රුවන්ඩා ජනසංහාරය: අභියාචනා ප්‍රතික්ෂේප කෙරේ

Image copyright Reuters
Image caption ජනසංහාරය සම්බන්ධයෙන් හැට එක් දෙනෙකු දඬුවම් ලැබූ අතර, විත්තිකරුවන් 14 දෙනෙක් නිදහස ලැබූහ

රුවන්ඩාව සම්බන්ධ ජාත්‍යන්තර අපරාධ යුක්ති විනිශ්චය සභාව, 1994 මහා මනුෂ්‍ය සංහාරය පිළිබඳ අවසාන නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

මානව වර්ගයාට එරෙහි අපරාධ සිදු කළ බවට වැරදිකරුවන් බව තීන්දු කෙරුණු හිටපු අමාත්‍යවරයකු ඇතුළු හයදෙනකු ඉදිරිපත් කළ අභියාචනා, විනිශ්චය සභාව ප්‍රතික්ෂේප කළේය.

ඔවුන් හයදෙනාම චෝදනාවලට වැරදිකරුවන් බව තීන්දු කළ අධිකරණය, තිදෙනකුට පනවා තිබූ දඬුවම් ජීවිතාන්තය දක්වා සිරදඬුවමේ සිට වසර 47 ක සිරදඬුවමක් දක්වා ලිහිල් කළේය.

එක්සත් ජාතීන්ගේ අධිචෝදකයන් විසින් ටැන්සානියාවේ අරුෂා නගරයේ මෙම යුක්ති විනිශ්චය සභාව පිහිටුවනු ලැබුවේ අටලක්ෂයකට ආසාන පිරිසක් ඝාතනයට ලක්වූ රුවන්ඩා මහා මනුෂ්‍ය සංහාරයට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයන්ට එරෙහිව යුක්තිය පසිඳලීම පිණිසයි.

එවක් පටන් ගතව ගිය දශක දෙකක කාලය ඇතුලත එම අධිකරණය විසින් හැට එක් දෙනෙකුට දඬුවම් පනවා තිබේ.

විත්තිකරුවන් 14 දෙනෙක් නිදහස ලැබූහ.

Image copyright AFP
Image caption අට ලක්ෂයකට ආසන්න පිරිසක් රුවන්ඩාවේ මහා මනුෂ්‍ය සංහාරයේදී ඝාතනයට ලක්විය

මෙම සමස්ත අධිකරණ ක්‍රියාදාමය බොහෝ දුරට සාර්ථක වූ බවයි, විනිශ්චය සභාවේ හිටපු ප්‍රධාන අභිචෝදකයා වූ විනිසුරු රිචඩ් ගෝල්ඩ්ස්ටන් බීබීසී යට කියා සිටියේ.

"රුවන්ඩාව සම්බන්ධ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවට පැවරිලා තිබුනේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව සිදුවුණු දරුණුම මහා මනුෂ්‍ය සංහාරයට වගකිවයුතු ප්‍රධානම නායකයන් සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම. ඒ වගකීම ඉටුකරද්දී, මම හිතන්නේ, විනිශ්චය සභාව බොහෝ දුරට සාර්ථකයි," ඔහු පැවසීය.

"එයින් චෝදනා එල්ල කළ අට දෙනෙක් ඇරෙන්න අනෙක් සියලු දෙනාම පිළිබඳව විභාග කරන්න විනිශ්චය සභාව සමත් වුනා. ප්‍රධාන අපරාධකරුවන් සියලු දෙනාම වැරදිකරුවන් බව තීන්දු කරලා දැන් ඔවුන් සිරදඬුවම් විඳිනවා. මහාද්වීපය පුරා රටවල් ගණනාවක ඔවුන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිනවා."

විනිශ්චය සභාවේ ක්‍රියාකලාපය බොහෝ දෙනාගේ ප්‍රසාදයට පාත්‍ර වුවත්, තවත් බොහෝ දේ කළ හැකිව තිබූ බව රුවන්ඩාවේ ජනාධිපති පෝල් කගාමේ ඇතුළු විවේචකයන් ගේ මතය වී තිබෙන බවයි වාර්තාකරුවන් පවසන්නේ.

Image copyright AP
Image caption මහා මනුෂ්‍ය සංහාරයෙන් විසි වසරක්

කෙසේ නමුත් ජාත්‍යන්තර අපරාධ අධිකරණවල සාර්ථකත්වය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ අදාළ රටේ ආණ්ඩුවේ සහයෝගය මත බවයි, යුගොස්ලාවියාව සම්බන්ධ ජාත්‍යන්තර අපරාධ යුක්ති විනිශ්චය සභාවේද ප්‍රධාන අභිචෝදකයා වූ විනිශ්චයකාර රිචඩ් ගෝල්ඩ්ස්ටන් පවසන්නේ.

"මෙතෙන්දි වැදගත්ම පාඩමක් තමයි යුක්තිය පසිඳලීම කෙතරම් දුෂ්කර කාර්යයක්ද කියන එක. දේශීය අධිකරණ ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් පමණක් නොවෙයි, ආණ්ඩු මත සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය රඳා පවතින ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාදාමයන් සම්බන්ධයෙනුත් ඒක සත්‍යයක්," විනිසුරු ගෝල්ඩ්ස්ටන් පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු: "යුක්තිය පසිඳලීමට කාලය ගතවෙනවා. ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් පිහිටුවනවා නම් සාධාරණ නඩු විභාගයක් පැවැත්වීමේ අවස්තාව ඔවුන්ට ලැබෙන්න ඕනේ. නිතරම ඒක ඉතා සංකීර්ණ ක්‍රියාදාමයක්."

මේ තීන්දුවත් සමඟම රුවන්ඩාවේ මනුෂ්‍ය සංහාරය පිළිබඳ ජාත්‍යන්තර අපරාධ යුක්ති විනිශ්චය සභාව විසුරුවා හැරේ.