මෝදි 'මනෝව්‍යාධියකට' ලක් වූවෙක් - දිල්ලි මහඇමති

Image copyright AFP
Image caption දේශපාලන උවමනාවන් මත සිය කාර්යාල සෝදිසි කොට ඇති බවයි දූෂණ විරෝධී ආම් ආද්මී පක්ෂයේ නිර්මාතෘ අර්වින්ද් කේජ්රිවාල් පවසන්නේ

ඉන්දීය මධ්‍යම පොලිස් විමර්ශන කාර්යාංශය විසින් තම කාර්යාල සෝදිසියට ලක් කිරීම පිටුපස අගමැති නරේන්ද්‍ර මෝදි සිටින බවට දිල්ලි ප්‍රාන්තයේ මහඇමති අර්වින්ද් කේජ්රිවාල් චෝදනා කළේය.

සිය කාර්යාල සෝදිසියට ලක් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් දිල්ලි මහඇමතිවරයා කියා සිටියේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ''බියගුල්ලෙකු සහ මනෝව්‍යාධියකින් යුත් පුද්ගලයකු'' ලෙස හැසිරෙන බවයි.

දේශපාලන උවමනාවන් මත සිය කාර්යාල සෝදිසි කොට ඇති බවයි දූෂණ විරෝධී ආම් ආද්මී පක්ෂයේ නිර්මාතෘ අර්වින්ද් කේජ්රිවාල් පවසන්නේ.

'මෝදිට මාව දේශපාලන වශයෙන් හසුරුවන්න නොහැකි වුනාම, මෙවැනි බියගුළු ක්‍රියාවලට යොමු වෙනවා' මහඇමතිවරයා සඳහන් කළේය.

Image copyright AFP

අර්වින්ද් කේජ්රිවාල් මහඇමතිවරයා එල්ල කරන චෝදනා මධ්‍යම පොලිස් විමර්ශන කාර්යාංශය විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

'මේක අර්වින්ද් කෙජ්වාල්ගේ කාර්යාලය සෝදිසි කිරීමක් නොවෙයි. මේක මහඇමතිවරයාගේ ප්‍රධාන ලේකම්වරයා සම්බන්ධයෙන් කළ සෝදිසියක්' මධ්‍යම පොලිස් විමර්ශන කාර්යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

'බොරු'

කෙසේවෙතත් පොලිස් විමර්ශන කාර්යාංශය 'බොරු' ප්‍රකාශ නිකුත් කරන බවටත් කේජ්රිවාල් මහඇමතිවරයා චෝදනා කොට තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් ඉන්දීය ආණ්ඩුවේ මුදල් අමාත්‍ය අරුන් ජෙට්ලි පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළේ සෝදිසියට ලක් කිරීම සහ මහඇමති කේජ්රිවාල් අතර සම්බන්ධයක් නොමැති බවයි.

අගමැතිවරයාට දොස් පැවරීම දිල්ලි මහඇමතිවරයා විසින් විලාසිතාවක් බවට පත් කොට ගෙන ඇතැයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය වෙන්කයියා නයිදු කියා සිටියේය.

අර්වින්ද් කේජ්රිවාල් දිල්ලි මහඇමතිවරයා ලෙස තේරී පත් වූයේ පසුගිය පෙබරවාරි මාසයේදී.

එතැන් පටන් මහඇමති කේජ්රිවාල්ගේ ප්‍රාන්ත ආණ්ඩුව සහ ඉන්දීය මධ්‍යම ආණ්ඩුව අතර බල අරගලයක් හට ගෙන තිබේ.

දිල්ලි ප්‍රාන්තයේ පොලිස්, ඉඩම් සහ නීතිය හා සාමය යන බලතල පවතින්නේ භාරතීය ජනතා පක්ෂය විසින් පාලනය කරනු ලබන මධ්‍යම ආණ්ඩුව යටතේයි.

මහඇමතිවරයාගේ කාර්යාල සෝදිසියට ලක් කළ බවට චෝදනා කරමින් දූෂණ විරෝධී ආම් ආද්මී පක්ෂයේ සාමාජිකයන් සමාජ මාධ්‍ය තුළ පවසා තිබුණේ මෙම සිදුවීම 'ප්‍රජාතන්ත්‍රවාදයේ අඳුරුතම දිනය' සනිටුහන් කරන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර