ඩීසල් වාහන වලට දිල්ලි නගරය තහනම්

Image caption දිල්ලි අග නගරය තුළ වායු දුෂණ මට්ටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත සීමාවට වඩා හතලිස් ගුණයකින් ඉහළ ගොස් තිබේ

ඉන්දියාවේ අගනගරය වන දිල්ලි නුවර වායු දුෂණය වැළැක්වීම වෙනුවෙන් ගන්නා පියවරක් ලෙස නගරය තුළ විශාල ප්‍රමාණයේ ඩීසල් මෝටර් රථ විකිණීම තාවකාලිකව තහනම් කිරීමට ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත්කරනු ලැබ තිබේ.

ඒ අනුව ලබන වසරේ මාර්තු මාසය වන තෙක් දිල්ලි නගරය සහ තදාසන්න කලාපය තුළ ‘ස්පෝර්ට් කාර්’ වර්ගයේ මෝටර් රථ සහ ඩීසල් ඉන්ධනයෙන් ධාවනය කෙරෙන වෙනත් විශාල ප්‍රමාණයේ මෝටර් රථ ලියාපදිංචි කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහනමට ලක් කොට තිබේ.

එසේම වසර දහයකට වඩා පැරණි ට්‍රක් රථ වලට දිල්ලි නගරයට ඇතුල්වීම සහ වෙනත් ප්‍රාන්ත වලට යාම සඳහා නගරය හරහා ධාවනය කිරීමද තහනම් වේ.

දිල්ලි නගරය තුළ ධාවනය කෙරෙන සියලුම ඩීසල් ටැක්සි රථ ද මාර්තු මාසයට පෙර ස්වභාවික ඉන්ධන වලට මාරු කරන ලෙසද අධිකරණ තීන්දුව මගින් දැනුම් දී තිබේ.

ලෝකයේ වඩාත්ම වැඩි ජනගහනයක් සහිත නගර වලින් එකක් වන දිල්ලි අග නගරය තුළ පසුගිය මාසයේ වාර්තා වූ වායු දුෂණ මට්ටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත සීමාවට වඩා හතලිස් ගුණයකින් ඉහළ ගොස් තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර