ඇෆ්ගනිස්ථානයේ දරුණු සටන්: විදෙස් භට පිරිසක් මරුට

Image copyright EPA

ඇෆ්ගනිස්තානයේ දකුණු දිග පිහිටි සැන්ගින් දිස්ත්‍රික්කයේ හමුදා සහ එම ප්‍රදේශය වටලා සිටින තාලිබාන් කැරලිකරුවන් අතර දරුණු ගැටුම් හට ගෙන තිබේ.

පතොරම් සහ වෙඩි බෙහෙත් අවසන් වෙමින් පවතින බැවින් සිය කඳවුර පැය කිහිපයක් ඇතුළත තාලිබාන් කැරලිකරුවන් අතට පත් වීමට ඉඩ ඇති බවයි සැන්ගින් නගරයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසුවේ.

පොලිස් නිලධාරී දාවුද් කාබුල් අගනුවර සිටින බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ තම සහාය සඳහා හැකි ඉක්මනින් භට කණ්ඩායම් එවන ලෙසයි.

Image copyright epa

මේ අතර ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර දිග බග්රම් ප්‍රදේශයේ පිහිටි හමුදා කඳවුරක් ආසන්නයේ මුර සංචාරයේ යෙදී සිටි භට කණ්ඩායමක් ඉලක්ක කොට පුපුරා ගිය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් විදේශීය හමුදා භටයන් හය දෙනකු මරණයට පත් වී ඇති බව නේටෝ හමුදාව නිවේදනය කළේය.

මෙම මරාගෙන මැරෙන බෝම්බකරු පැමිණ ඇත්තේ යතුරු පැදියකින්.

ප්‍රහාරයේ වගකීම තාලිබාන් සංවිධානය භාර ගෙන තිබේ.