පාපන්දු දැවැන්තයන් දෙදෙනාට අට වසරක තහනමක්

ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති සෙප් බ්ලැටර් ට සහ යුරෝපා පාපන්දු සම්මේලනයේ සභාපති මිෂෙල් ප්ලටිනි ට අට වසරක පාපන්දු තහනමක් නියම විය.

පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ සියලුම ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ වීම තහනම් කරමින් පැනවෙන මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ලෝක පාපන්දු සම්මේලනයේ ආචාර ධර්ම පිළිබඳ කමිටුව විසින් කරන ලද පරීක්ෂණයකින් අනතුරුවයි.

මෙම පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ සෙප් බ්ලැටර් සහ මිෂෙල් ප්ලටිනි සිය තනතුරු යොදා ගනිමින් මුදල් අවභාවිතයේ යෙදී ඇති බවයි.

Image copyright Getty
Image caption සෙප් බ්ලැටර්

ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් වසර 2011දී ප්ලටිනි ට ගෙවා ඇති අතර එහිදී අක්‍රමිකතා සිදු වී ඇති බව පරීක්ෂණයේදී හෙළිදරව් විය.

මොවුන් දෙදෙනාම මෙම චෝදනා ප්‍රතික්‍ෂේප කරන නමුත් එම තහනම් නියෝගය වහාම ක්‍රියාත්මක පරිදි නිකුත් කර ඇත.

1998 පටන් ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය දරන සෙප් බ්ලැටර් පෙබරවාරියේදී පැවැත්වීමට නියමිත නිලවරණයට ඉදිරිපත් නොවන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

Image copyright Getty
Image caption මිෂෙල් ප්ලටිනි

ලෝක පාපන්දු සම්මේලනයේ මීළඟ සභාපතිවරයා බවට පත් වීමට වැඩිම ඉඩකඩක් තිබූ පුද්ගලයා ලෙස සැලකුණේ සෙප් බ්ලැටර් සමඟ පාපන්දු තහනමට ලක් වුනු මිෂෙල් ප්ලටිනි යි.

වසරේ හොඳම යුරෝපීය පාපන්දු ක්‍රීඩකයා ලෙස තුන් වතාවක් සම්මාන ලැබූ මිෂෙල් ප්ලටිනි, කලක් ප්‍රංශ පාපන්දු කණ්ඩායමට නායකත්වය දුන් ජනප්‍රිය ක්‍රීඩකයෙකි.

ඔහු 2007 පටන් යුරෝපා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය හෙබවීය.