ඉන්දියාවේ ගුවන් අනතුරකින් දස දෙනෙක් මරුට

Image copyright AP
Image caption කඩා වැටුණු යානය ගිනි ගෙන ඇති අතර එහි ගමන් ගත් කිසිවෙකුත් දිවි බේරා ගෙන නොමැත

සැහැල්ලු ගුවන් යානයක් ඉන්දියාවේ දිල්ලි අගනුවර ගුවන් තොටුපළ ආසන්නයේදී අනතුරට පත් වීම හේතුවෙන් එහි ගමන් ගත් මගීන් දස දෙනෙක් මරුමුවට පත් වෙති.

ඉන්දීය දේශසීමා ආරක්ෂක බලකාය විසින් කුලී පදනම යටතේ සේවයට යොදවා තිබූ යානයේ ගමන් කොට ඇත්තේ එම ආයතනයට අයත් කාර්ය මණ්ඩල සේවකයන්.

ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපළෙන් නික්මව ගොස් සුළු වෙලාවකට පසු ගුවන් යානය කඩා වැටී ඇති බවයි බලධාරීන් පවසන්නේ.

කඩා වැටුණු යානය ගිනි ගෙන ඇති අතර එහි ගමන් ගත් කිසිවෙකුත් දිවි බේරා ගෙන නොමැත.

කාර්මික නිලධාරීන් ඇතුළු දේශසීමා ආරක්ෂක සාමාජිකයන් රැගත් යානය අනතුරට පත් වන අවස්ථාවේ ඉන්දියාවේ රන්චි නුවර බලා පියාසර කරමින් තිබිණි.

Image caption ගුවන් යානයේ ගමන් කොට ඇත්තේ දේශ සීමා ආරක්ෂක බලකායට අයත් සාමාජිකයන්
Image caption ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ දහයකට වැඩි සංඛ්‍යාවක් ගුවන් යානය පතිත වූ ස්ථානයට පැමිණ තිබේ
Image caption අනතුරට පත් ගුවන් යානය පතිත වූ ස්ථානයට සහන සේවකයන් පිටත් කොට යවා තිබේ

අනතුර ඇසින් දුටුවෙකු වාර්තාකරුවන්ට කියා සිටියේ ගුවන් යානය බැම්මක ගැටී ගිනි ගෙන ගුවන් තොටුපළෙන් පිටත පිහිටි භූමි ප්‍රදේශයකට පතිත වූ බවයි.

'ඒ අවස්ථාවේ දහ දෙනෙක් විතර ගුවන් යානයේ සිටියා. මම මෘත ශරීර දෙකක් දැක්කා. ගුවන් යානය වැටුණු ස්ථානය අවට කම්කරුවෝ කීපදෙනෙක් වැඩ කරමින් සිටියා' ඔහු කියා සිටියේය.

අනතුරට හේතුව සොයා බැලීම සඳහා පරීක්ෂණයක් පවත්වන මෙන් බලධාරීන් නියෝග කොට තිබේ.

2010 වසරේ මැන්ගලෝර් නගරයේ සිදු වූ ගුවන් අනතුරකින් 160 දෙනකුට ආසන්න පිරිසක් මරුමුවට පත් වූහ.