ඉස්ලාම් ප්‍රතිරූපය නංවන්න -ඉරාන ජනපති

ඉස්ලාම් ආගම පිළිබඳව නිශේධනීය ප්‍රතිරූපයක් ගෙන එන ප්‍රචණ්ඩතාවන්ට එරෙහිව සටන් වදින ලෙස ඉරාන ජනාධිපතිවරයා ලෝක මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

ඉරාන ජනාධිපති හසාන් රුහානි මෙම ඉල්ලීම කළේ ටෙහෙරාන් අගනුවර පැවති සම්මන්ත්‍රණයක් අමතමින්.

මුස්ලිම් ජනතාව, මුස්ලිම් නොවන රටවල රැකවරණ පතා ඉතා දුෂ්කර ගමනක යෙදෙන ආකාරය දකින්නට ලැබීම ලැජ්ජා සහගත බවයි ඉරාන ජනාධිපති හසාන් රුහානි පවසන්නේ.

'තෙල් සල්ලි'

"මුස්ලිම් තෙල් සල්ලි ඇමරිකාවට දීල බෝම්බ සහ මිසයිල අරගෙන ඒවා යෙමනයේ අසරණ මිනිසුන් මතට අතහරින එක පිළිගත හැකිද? අවි නාශක මිසයිල මිල දී ගෙන ඒවා ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය වැනි ඉස්ලාම් විරෝධී කණ්ඩායම්වලට ලබා දීම පිළිගත හැකිද?," ඉරාන ජනාධිපති හසාන් රුහානි ප්‍රශ්න කළේය.

එක්සත් ජනපදයෙන් අවි ආයුධ මිල දී ගෙන එම ආයුධවලින් මුස්ලිම්වරුන්ටම පහර දෙන මුස්ලිම් ජාතිකයන් ඔහුගේ දැඩි විවේචනයට ලක් විය.

නමුත් මෙම මුස්ලිම් ජාතිකයන් කවුරුන්දැ’යි ඉරාන ජනාධිපති හසාන් රුහානි මෙහිදී නම් කළේ නැත.