ප්‍රධාන පක්ෂ දෙක 'එකමුතුව මැතිවරණ වංචාවක'

Image copyright AFP GETTY
Image caption චතිශ්ගාර් අතුරු මැතිවරණය බීජේපී යට ජයග්‍රහණය කිරීමට අවකාශ සැලසීම් වස් අල්ලස් ලබාගත් බවට විපක්ෂ කොන්ග්‍රස් පක්ෂයට චෝදනා

ප්‍රාදේශීය මැතිවරණයක ප්‍රතිඵලය වංචා සහගත ලෙසින් වෙනස් කිරීමට උත්සාහ කළ බවට ඉන්දියාවේ ප්‍රධානම දේශපාලන පක්ෂ දෙකට චෝදනා එල්ලවීමත් සමඟ ඉන්දියාවේ තවත් දේශපාලන ආන්දෝලනයක් හටගෙන තිබේ.

2013 දී චතිශ්ගාර්හි අතුරු මැතිවරණය පැවැත්වුණු අවස්ථාවේ සිය පක්ෂයේ අපේක්ෂකයා ඉවත්කරගැනීම පිණිස කොන්ග්‍රස් පක්ෂයේ නිලධාරීන් පාලක භාරතීය ජනතා පක්ෂයෙන් අල්ලස් ලබාගත් අවස්ථාව දැක්වෙන බව පැවසෙන හඬපට ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත ප්‍රකාශයට පත් කළේය.

Image copyright Agencies
Image caption ඉන්දීය මැතිවරණයකදී කොන්ග්‍රස් සහ බීජේපී ආධාරකරුවෝ

ප්‍රධාන විපක්ෂය වන කොන්ග්‍රස් පක්ෂයේ අපේක්‍ෂකයා අවසාන මොහොතේ ඉවත්වීමත් සමඟ පාලක බීජේපීය අතුරු මැතිවරණය ජයග්‍රහණය කළේය.

ප්‍රාන්තයේ හිටපු මහ ඇමතිවරයකු සහ වත්මන් මහ ඇමතිවරයාගේ බෑනා ඇතුළු පිරිසකටයි මේ චෝදනාව එල්ල වී තිබෙන්නේ.

තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන ඔවුන් පවසන්නේ සිය කටහඬ මෙන් දැක්වෙන ආකාරයට හඬපටවල හඬ විකෘති කර ඇති බවයි.