බ්‍රිතාන්‍ය භටයන්ට යුද අපරාධ චෝදනා

Image caption බ්‍රිතාන්‍ය හමුදා සෙබළුන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ මන්දගාමී ස්වරූපයක් ගන්නා බවට මානව හිමිකම් සංවිධාන විවේචන එල්ල කොට තිබේ

ඉරාක් යුද්ධයේදී සටන් වැදුණු බ්‍රිතාන්‍ය සෙබළුන්ට එරෙහිව යුද අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමේ ඉඩකඩ පවතින බව එහි සිදු කෙරුනැයි පැවසෙන යුද අපචාර පිළිබඳව පරීක්ෂණ සිදු කළ කණ්ඩායමේ ප්‍රධානියා පවසයි.

බ්‍රිතාන්‍ය හමුදා සෙබළුන් විසින් ඉරාකයේ සාමාන්‍ය ජනතාවට අයුතු ආකාරයෙන් සලකා ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සොයා බලනු වස් බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් ස්ථාපනය කරනු ලැබූ විශේෂ ඒකකයේ ප්‍රධානී මාර්ක් වොරික් ඒ බව කියා සිටියේ ද ඉන්ඩිපෙන්ඩන්ට් (The Independent) පුවත් පත සමග සාකච්ඡාවකට එක් වෙමින්.

නීති විරෝධී ඝාතන ඇතුළු අපරාධ සම්බන්ධයෙන් ඉරාක් යුද්ධයේදී සටන් වැදුණු බ්‍රිතාන්‍ය සෙබළුන්ට එරෙහිව නඩු පැවරීමේ ඉඩකඩක් පවතින බවයි ඔහු පවසන්නේ.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අදාළ චෝදනා යුද අපරාධ ගණයේ ලා සැලකිය හැකිද යන්න පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුව හා සාකච්ඡා කෙරෙමින් පවතින බවයි.

ඉහත කී බ්‍රිතාන්‍ය හමුදා සෙබළුන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ මන්දගාමී ස්වරූපයක් ගන්නා බවට මානව හිමිකම් සංවිධාන විවේචන එල්ල කොට තිබේ.