සෞදියට එරෙහි විරෝධතා තවත් ව්‍යාප්ත වෙයි

ෂියා මුස්ලිම් පූජකවරයෙකු මරා දැමීම නිසා සෞදි අරාබියට එරෙහි විරෝධතා මැදපෙරදිගින් එපිට රාජ්‍යයන් කරා ද ව්‍යාප්ත වෙමින් පවතී.

ෂියා මුස්ලිම් පූජක ෂෙයික් නිමර් අල්-නිමර් මරා දැමීමට එරෙහිව කාශ්මීරයේ ශ්‍රිනගර් ප්‍රදේශයේ උද්ඝෝෂණ පැවති අතර මෙහි දී පොලිසිය සමඟ විරෝධතා කරුවන් ගැටුම් ඇති කර ගෙන තිබේ.

කෝපයට පත් උද්ඝෝෂකයන් පොලිසියට ගල් ගසන්නට පටන් ගත් අතර මෙහි දී පොලිසිය කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාරයක් එල්ල කරමින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Image copyright AP

පකිස්තානයේ කරච්චි නුවරට ද විරෝධතාකරුවන් පිරිසක් රැස් වී සෞදි රජ පවුලට මරණය පතමින් සිටියහ.

මේ අතරතුර ෂියා මුස්ලිම් පූජක ෂෙයික් නිමර් අල්-නිමර් මරා දැමීමට එරෙහිව ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයද සෞදි අරාබියට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළේය.

ලොව පුරා සිටින ෂියා සහ සුන්නි මුස්ලිම්වරුන් අතර සිවිල් යුද්ධයක් ඇවිලීමට සෞදි අරාබියට අවශ්‍ය වී ඇති බවයි හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා කියා සිටියේ.

Image copyright EPA

ෂියා පූජකවරයා මරා දැමූ අයගේ උගුලට හසු නොවන ලෙස හිස්බුල්ලා නායක ෂියා මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලා සිටියේය.

සෞදි අරාබිය ලෙස නම් නොකළත්, ඔහු කියා සිටියේ කිසියම් සාකච්ඡාවක් සඳහා යම් අපේක්ෂාවක් තිබුණි නම් ඝාතනයන් සහ ළේ හැලීම් සිදු කරන ත්‍රස්ත රෙජීමයක් සමඟ එම අපේක්ෂාව ද බිඳ වැටුණු බවයි.