දෙවියන් ඉදිරියේ වන්දි ගෙවීමට සිදු වෙයි -ඉරානය

Image copyright Reuters

ෂියා නිකායට අයත් ප්‍රධාන පෙලේ මුස්ලිම් පුජකවරයෙකු මරා දැමීම වෙනුවෙන් සෞදි අරාබියට දෙවියන් ඉදිරියේ වන්දි ගෙවීමට සිදු වනු ඇති බවට ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා ඛමේනි අනතුරු අඟවා සිටියේය.

ෂියා මුස්ලිම් පූජක ෂෙයික් නිමර් අල්-නිමර් මරා දැමීම මගින් සෞදි අරාබිය ‘අයුක්ති සහගත ලෙස ලේ හැලීමක්’ සිදු කර ඇති බවයි ඔහු පවසන්නේ.

Image copyright ABNA
Image caption සෞදි රාජාණ්ඩුව විවේචනයට ලක් කිරීම නිසා තම නායකයා මරා දැමූ බවයි පූජක ෂෙයික් නිමර් අල්-නිමර්ගේ අනුගාමිකයන් පවසන්නේ

මේ අතරතුර ඉරාකයේ ෂියා නිකායේ ජ්‍යෙෂ්ඨ පූජක අයතොල්ලා අලි අල්-සිස්ටානි මෙම මරණ දණ්ඩනය හැඳින්වූයේ ‘අයුක්ති සහගත ප්‍රචණ්ඩත්වයක්’ ලෙසිනි.

ෂියා මුස්ලිම් පූජක ෂෙයික් නිමර් අල්-නිමර් සමඟ තවත් හතළිස් හය දෙනෙකු මරා දැමුණු අතර සෞදි බලධාරීන් පවසන්නේ ඔවුන්ට මරණ දණ්ඩනය ලබා දුන්නේ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ වී ඇති නිසා බවයි.

Image copyright EPA
Image caption ටෙහෙරාන් නුවර ඇති සෞදි තානාපති කාර්යාලයට විරෝධතාකරුවන් පිරිසක් කඩා වැදුණු අතර එම කාර්යාල ගොඩනැගිල්ලට ගිනි තබා තිබේ

නමුත්, සෞදි රාජාණ්ඩුව විවේචනයට ලක් කිරීම නිසා තම නායකයා මරා දැමූ බවයි පූජක ෂෙයික් නිමර් අල්-නිමර්ගේ අනුගාමිකයන් පවසන්නේ.

මේ පුවත සැල වීමත් සමඟ ඊයේ (02) සවස් යාමයේ ඉරානයේ ටෙහෙරාන් නුවර ඇති සෞදි තානාපති කාර්යාලයට විරෝධතාකරුවන් පිරිසක් කඩා වැදුණු අතර එම කාර්යාල ගොඩනැගිල්ලට ගිනි තබා තිබේ.