සෞදි මිත්‍ර රටවල් ඉරානයට එරෙහිව එක් වෙති

Image copyright EPA
Image caption සෞදි අරාබියට එරෙහිව ඉරානයේ ටෙහෙරාන් අගනුවර පැවති විරෝධතාවක්

සවුදි අරාබිය විසින් ෂියා මුස්ලිම් පූජක ෂෙයික් නිම්ර් අල් නිම්ර්ට පැනවූ මරණ දඬුවම ක්‍රියාවට නැගීමෙන් අනතුරුව මැදපෙරදිග කලාපයේ රාජ්‍යතාන්ත්‍රික උණුසුම උත්සන්න වෙමින් පවතියි.

බහරේනය, සුඩානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් ඉරානය සමඟ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා අත්හැරීමට හෝ අවප්‍රමාන කිරීමට කටයුතු කොට ඇත.

සුන්නි භක්තිකයන් බහුතරයක් වෙසෙන එම රාජ්‍යයන් ඉහත කී ක්‍රියාමාර්ගයට එළඹුණේ ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි සෞදි තානාපති කාර්යාලයට ප්‍රහාර එල්ල වීමෙන් අනතුරුවයි.

ෂියා පූජකවරයාට මරණ දඬුවම පැනවීම මගින් සවුදි අරාබිය කලාපීය උණුසුම උත්සන්න කරන බවට මේ අතර ඉරානය චෝදනා කරයි.

චෝදනා

ටෙහෙරාන් අගනුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇමතූ ඉරාන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක හොසේන් ජබෙරි අන්සාරි, සවුදි අරාබියේ සිටින සිය රාජ්‍යතාන්ත්‍රිකයන් යළි සියරටට කැඳවන බව නිවේදනය කළේය.

"සවුදි අරාබියෙන් පිටවීම සඳහා ඉරාන ඉස්ලාමීය ජනරජයේ රාජ්‍යතාන්ත්‍රිකයන්ට පැය 48 ක කාලයක් ලබා දී තිබෙනවා. ගෞරවනීය ලෙසින් අපේ රාජ්‍යතාන්ත්‍රිකයන් යළි සියරට ගෙන්වා ගැනීම සඳහා අපේ තානාපති කාර්යාලය, කොන්සල් කාර්යාලය සහ විදේශ අමාත්‍යාංශය විසින් අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙනවා," හොසේන් ජබෙරි පැවසීය.

ඉරානයේ සිටින සවුදි රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ ආරක්ෂාව සහතික කරන බව කියා සිටි ඉරාන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා, නොසන්සුන් වාතාවරණයක් ඇති කිරීමට උත්සාහ දරන බවට සෞදි බලධාරීන්ට චෝදනා කළේය.

මේ අතර ෂියා පූජකවරයා ඝාතනය කිරීම මගින් අපේක්ෂිත ප්‍රතිඵලය ඉටු වනු නැති බවයි, හිටපු ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පවසා තිබුණේ.

එහෙත් සෞදි අරාබිය එම ජාත්‍යන්තර විවේචන දැඩිව බැහැර කරයි.

ශරීයා නීතිය

සෞදි අධිකරණ අමාත්‍යංශයේ ප්‍රකාශක ෂෙයික් මන්සුර් අල් ජෙෆ්රෙයි සඳහන් කළේ ජාත්‍යන්තර ප්‍රතිචාරය පිළිබඳ අධිකරණය අවධානය පළ නොකරන බවයි.

"අධිකරණ බලයක් හැටියට අපි ක්‍රියාත්මක කරන්නේ අපි ඉදිරියේ තිබෙන දත්තවලට අනුව ශාරියා නීතිය ක්‍රියාත්මක කිරීමයි. විනිශ්චයකරුවන්ට බලය තියෙන්නේ ඒ සඳහායි. ඔවුන් අනෙක් බලපෑම් ගැන බලන්නේ නැහැ. ඔය කියන ප්‍රතිචාර ගැන මට කිසිම අදහසක් නැත්තේ ඒ නිසා," ඔහු පැවසීය.

මේ අතර ඉරාකයේ සුන්නි භක්තික ඉමාම්වරයකු මරා දමා ඇති බවත්, තවත් සුන්නි පල්ලි දෙකකට ප්‍රහාර එල්ල වී ඇති බවත් ඉරාක බලධාරීහු පවසති.

ෂියා පූජකවරයාට මරණ දඬුවම පැනවීමට පලිගැනීමක් වශයෙන් මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි සැලකෙන්නේ.

බැග්ඩෑඩ් අගනුවර ආසන්නයේ පිහිටි ඉස්කන්දරියා ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවන් විසින් ඉමාම් පූජකවරයා මරා දමා ඇති අතර හිල්ලා ප්‍රදේශයේ පල්ලි දෙකකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තවත් සුන්නි පූජකවරයෙක් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර