සංක්‍රමණික බෝට්ටුවක් පෙරලෙයි - විශාළ පිරිසක් ජීවිතක්ෂයට

Image copyright REUTERS

සංක්‍රමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් තුර්කි වෙරළට ඔබ්බේදී පෙරලී යාමෙන් අඩු වශයෙන් තිස් හතර දෙනකුවත් දියේ ගිලී මිය යති.

එම බෝට්ටුව අනතුරට ලක් වන විට ග්‍රීක ලෙස්බොස් (Lesbos) දූපත බලා යාත්‍රා කරමින් තිබිණ.

ස්ථාන දෙකකදී මළ සිරුරු ගොඩ ගත් බවයි තුර්කි බලධාරීන් පැවසුවේ.

Image copyright Reuters

ආරක්ෂක කබා ඇඳ, සපත්තු දමා, හොඳින් ඇඳ සිටි ළමුන් කිහිපදෙනකුගේ මළ සිරුරද ඒ අතර ඇති බව තුර්කි බලධාරීහු පැවසුහ.

දිවි ගලවා ගැනීමට හැකි වූ සමහර පුද්ගලයන් බේරා ගෙන ඇති අතර වෙරළාරක්ෂක නිලධාරීන් සෝදිසි මෙහෙයුම් දිගටම දියත් කොට ඇති බව බීබීසී වාර්තාකරු රිචඩ් ගැල්පින් පවසයි.

මේ වසරේ මුල් දින තුන තුල පන්දහසකට වැඩි පිරිසක් මුහුදු මාර්ගයෙන් ග්‍රීසියට ලඟා වී ඇති බව සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර ආයතනය ප්‍රකාශ කළේය.