ප්‍රංශ ප්‍රහාරයේ සැකකරුගේ ඇඟිලි සලකුණු බෙල්ජියමෙන්

Image copyright Reuters

බ්‍රසල්ස් නුවර සිදු කළ සෝදිසි මෙහෙයුමක දී පුපුරන ද්‍රව්‍ය තිබුණු බවට සලකුණු සහිත මහල් නිවාසයක් සොයා ගෙන ඇති අතර ප්‍රංශ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුගේ ඇඟිලි සලකුණු එහි තිබුණු බව බෙල්ජියම පවසයි.

සිරුරේ බෝම්බ බැඳ ගෙන යා හැකි පටි කිහිපයක් ද මෙම මහල් නිවාසය තුළ තිබී හමු වූ බවයි බෙල්ජියමේ බලධාරීන් පවසන්නේ.

ව්‍යාජ නමක්

Image copyright AFP

ව්‍යාජ නමක් භාවිතා කරමින් මෙම නිවාසය කුලියට ගෙන ඇති අතර, නොවැම්බර් මාසයේ සිදු වූ ප්‍රංශ ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට සැක පිට අත්අඩංගුවේ පසු වන අයෙකු මෙහි වාසය කරන්නට ඇති බවට බලධාරීහු විශ්වාස කරති.

එහි තිබී සොයා ගත් ඇඟිලි සලකුණු අතර ප්‍රංශ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සලා අබ්දෙස්ලාම් ගේ ඇඟිලි සලකුණු ද සොයා ගෙන ඇති අතර ඔහු අල්ලා ගැනීමට තවමත් පොලිසිය සමත් වී නැත.

Image copyright Ministerio del Interior de Belgica
Image caption ප්‍රංශ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සලා අබ්දෙස්ලාම්

එකසිය තිස් දෙනෙකුට මරු කැඳවූ ප්‍රංශ ප්‍රහාරය බෙල්ජියමේ සිට සැලසුම් කරන්නට ඇති බවට තිබූ විශ්වාසය මෙම සොයා ගැනීමත් සමඟ තව දුරටත් තහවුරු කෙරෙයි.