බුර්කිනා ෆාසෝ ප්‍රහාරය: විසි දෙදෙනෙක් මරුට

Image copyright Reuters
Image caption හැකි උපරිම උත්සාහය යොදා මිනිසුන් වෙත වෙඩි ප්‍රහාර එල්ල කළ සටන් කරුවන් අනතුරුව හෝටල් ගොඩනැගිල්ල ගිනි තැබූ බවයි දිවි බේරා ගත් පිරිස් සඳහන් කළේ

ඉස්ලාමීය සටන්කරුවන් විසින් බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ අගනුවර පිහිටි සංචාරක හෝටලයකට එල්ල කරන ලද ප්‍රහාරයකට ගොදුරු වී විසි දෙදෙනකු මරුමුවට පත් වී ඇති බව එරට බලධාරීහු පවසති.

ඉහත කී සංචාරක හෝටලය ඉස්ලාමීය කැරලිකරුවන්ගේ ග්‍රහණයෙන් මුදා ගෙන ඇති බව බුර්කිනා ෆාසෝ ආණ්ඩුව පවසන අතර මේ වන විට ඒ ආසන්නයේ පිහිටි තවත් සංචාරක හෝටලයක් ඉස්ලාමීය සටන් කරුවන්ගේ ප්‍රහාරයට ලක් වී ඇති බවයි වාර්තා වන්නේ.

බටහිර ජාතිකයන් අතර ප්‍රචලිත 'ස්ප්ලෙන්ඩිඩ්' නමැති සංචාරක හෝටලය තුළ සිටි ප්‍රාණ ඇපකරුවන් එකසිය විසිහය දෙනකු මුදා ගත් බවයි එරට අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යවරයා කියා සිටියේ.

Image copyright AP
Image caption මේ වන විට සංචාරක හෝටලය ඉස්ලාමීය කැරලිකරුවන්ගේ ග්‍රහණයෙන් මුදා ගෙන ඇති බවයි බුර්කිනා ෆාසෝ ආණ්ඩුව පවසන්නේ

ප්‍රහාර එල්ල කිරීමට පැමිණි තුවක්කු කරුවන් තිදෙනකු මරා දමා ඇති බවත් ඔහු පැවසීය.

හැකි උපරිම උත්සාහය යොදා මිනිසුන් වෙත වෙඩි ප්‍රහාර එල්ල කළ සටන් කරුවන් අනතුරුව හෝටල් ගොඩනැගිල්ල ගිනි තැබූ බවයි දිවි බේරා ගත් පිරිස් සඳහන් කළේ.

එරට භට පිරිස් විසින් දියත් කොට තිබෙන ආරක්ෂක මෙහෙයුමට ප්‍රංශ විශේෂ ආරක්ෂක බලකා සහාය ලබා දෙමින් සිටිති.

මයිග්‍රිබ්(Maghreb) නමින් ප්‍රකාශිත අරාබි ඉස්ලාමීය කලාපයේ ක්‍රියාත්මක වන අල්කයිඩා සංවිධානය ප්‍රහාරයේ වගකීම භාර ගෙන තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර