අත්වැරැද්දට දඬුවම: වමතින් දකුණත කපා ගැනීම

Image copyright Getty
Image caption සංරක්ෂිත ඡායාරූපයක්

ආගමට අපහාස කළ බවට චෝදනා ලද පහළොස් හැවිරිදි පිරිමි දරුවකු ඔහු විසින්ම ඔහුගේම දකුණු අත කපා දමනු ලැබීමේ පුවතක් පාකිස්තානයෙන් වාර්තා වෙයි.

මොහම්මද් අන්වර් නම් එම ළමයා සිය අතක් සියතින්ම කපා දමනු ලැබීමෙන් අනතුරව එහි රැස් වූ ගම්වැසියෝ ළමයාගේ ක්‍රියාව උත්සවාකාරයෙන් සැමරූ බවත් පැවසෙයි.

ළමයාගේ ක්‍රියාවට ගරු කිරීමක් වශයෙන් ඇතැමෙක් ඔහුගේ ඉතිරි අත සිප ගත්හ.

මේ අතර ශරීර කොටස් කපා දැමීමට ළමයා පෙළඹවීමේ චෝදනා මත අදාළ පල්ලියේ ඉමාම්වරයකු අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ඉහත කී සිද්ධියට මුල් වී ඇත්තේ ආගමික වතාවත් සිදු කිරීම සඳහා පල්ලියට එක් රැස් වූ අවස්ථාවකදී ඉමාම්වරයා විසින් අසන ලද ප්‍රශ්නයකි.

ඉමාම් අත්අඩංගුවේ

මුහම්මද් නබි නායක තුමාට ආදරය නොදක්වන්නේ කවුරුන්දැයි? ඉහත කී ඉමාම්වරයා බැතිමතුන්ට ප්‍රශ්නයක් යොමු කර ඇති අතර පැනය වරදවා වටහා ගත් මොහම්මද් අන්වර් ඒ සමඟ සිය අත ඔසවා තිබේ.

ආගමට අපහාස සිදු කොට ඇති බවට මොහම්මද් අන්වර්ට චෝදනා එල්ල වී ඇත්තේ ඉන් අනතුරුවයි.

අත සිඳ ගනු ලැබීමෙන් අනතුරුව මොහම්මද් අන්වර් බීබීසීයට කියා සිටියේ තමාට වේදනාවක් නොදැනෙන බවයි.

අත් වැරදීමකින් හෝ දෙවියන්ට අපහාස කිරීම දැඩි දඬුවම් ලබා දිය යුතු වරදක් බවයි ළමයාගේ පියා පවසන්නේ.