ටොංගා මිනිස්සු තරබාරු වන්නේ ඇයි?

තරබාරු මිනිසුන් වැඩිම ප්‍රතිශතයක් සිටින්නේ ටොංගා රජ්‍යයේ යි.

ටොංගා ශාන්තිකර සාගරයේ පිහිටි දූපතකි.

ආයු අපේක්‍ෂාව පහත වැටෙමින් පවතින ටොංගා වැසියන්ගෙන් සියයට හතළිහක් පමණ දියවැඩියාවෙන් පෙළෙන බවයි සැලකෙන්නේ.

මීට ප්‍රධාන හේතුවක් ලෙස දැක්වෙන්නේ නවසීලන්තයෙන් ආනයනය කරන බාල තත්වයේ බැටළු මස් ආහාරයට ගැනීමයි.

බැටළුවාගේ උදරය ආශ්‍රිත මාංශය අඩු මිලට වෙළඳ පොලට පැමිණෙන අතර එහි මේදය අධිකයි.

ටොංගා ජනතාවගේ සාම්ප්‍රදායික කෑම පිඟාන පිරුණේ මාළු, අල වර්ග සහ පොල් මිශ්‍ර ආහාරවලින්.

නමුත් විසිවන ශතවර්ෂයේ මැද භාගය වන විට අඩු මිලට බාල තත්වයේ (මේදය අධික) මස් වර්ග රට තුළට ගලා එන්නට විය.

උදාහරණයක් ලෙස කළුකුමා ගේ වලිගය ආශ්‍රිත කොටස් එක්සත් ජනපදයෙන් ගෙන්වීම සහ බැටළුවා ගේ උදරය ආශ්‍රිත මාංශය නවසීලන්තයෙන් ගෙන් වීම ඊට කදිම නිදසුන්.

මේවා බොහෝ විට මසට මැරූ සතෙකුගෙන් ආහාරයට සුදුසු මාංශ ඉවත් කර ගැනීමෙන් පසු ඉතිරි වන කොටස් ය.

Image copyright Getty

1973 දී දියවැඩියාව වැනි බෝ නොවන රෝගවලින් පීඩා විඳි ටොංගා ජන ප්‍රතිශතය 7%ක් බව එරට සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

2004 වන විට එය 18%ක් දක්වා ඉහල ගොස් තිබේ.

අද වන විට මේ අංකය 34% දක්වා වර්ධනය වී ඇති බව ටොංගා සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර ඇතත් නිල නොවන වාර්තා සඳහන් කරන්නේ එය 40% ඉක්මවා ඇති බවයි.

බැටළුවා ගේ ආහාරයට නුසුදුසු ම කොටස අනුභව කොට හැදුනු පරම්පරාවක් ටොංගා වේ සිටින බවයි ශාන්තිකර ප්‍රජා ලේකම් කාර්යාලයේ සෞඛ්‍ය සැලසුම් නිලධාරිනි සුනියා සොවාකායි පවසන්නේ.

‘බැටළුවාගේ ඇලපත ආශ්‍රිත මස් විසි කරන දෙයක්. නවසීලන්තයේ ඒවා පරිභෝජනයට සුදුසු නැහැ. ඒවා ශාන්තිකර කලාපීය රටවලට ගෙනැවිත් දමන්නට ඔවුන් ට හැකියාව ලැබී තියෙනවා. අපේ මිනිස්සු අල්ල ගන්න මාළු ටික විකුණලා ඒ සල්ලිවලින් අර බාල ආහාර මිල දී ගන්නවා.’ ඇය පවසයි.