දෙමළ නායකත්ව ප්‍රශ්නය දුර දිග යන ලකුණු

Image copyright Getty
Image caption දෙමළ ජාතික සභාව කවර අන්දමකින් හෝ වැරදි දේශපාලන ක්‍රියාවලියකට සම්බන්ධ කර නොගන්නා බවට ඔහු සහතික වී ඇති බවයි පැවසෙන්නේ

දිනසේන රතුගමගේ

බී බී සී ප්‍රාදේශීය වාර්තාකරු

දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදීමට සහ අයිතිවාසිකම් දිනාගැනීමට යැයි කියමින් මෑතකදී යාපනයේදී පිහිටුවා ගන්නා ලද දෙමළ ජාතික මහා සභාවේ නායකත්වය උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා විසින් දැරීම කාලෝචිත බවට 20 වෙනි බදාදා සවස යාපනයේ පැවති සාකච්ඡාවකදී උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් මෙන්ම මෙම සාකච්ඡාවට සහභාගි වූ තවත් දේශපාලනඥයින් පිරිසක් තීරණය කොට තිබේ.

ජනතා විශ්වාසය

ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් දෙමළ ජාතික සභාවේ නායකත්වය දැරීම නිසා දෙමළ ජාතික සන්ධානය දේශපාලනමය වශයෙන් දෙමළ ජනතාව තුළ තබා ඇති විශ්වාසයට විශාල පලුදුවීමක් ඇතිවන බැවින් ඔහු ඉන් ඉවත්විය යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් පිරිසක් උතුරු ප්‍රදේශය පුරා මතවාදයක් ගෙනයන ලදී.

මේ පිළිබදව සාකච්ඡා කොට ස්ථිර තීරණයක් ගැනීමට ප්‍රධාන අමාත්‍යවරයාට සාකච්ඡාවකට පැමිණෙන මෙන් අවස්ථා ගණනාවක්ම දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් ආරාධනය කළද ඔහු එම සාකච්ඡාව වුවමනාවෙන්ම මගහරිමින් සිටින බවට ප්‍රධාන අමාත්‍යවරයාට චෝදනා එල්ල වෙමින් තිබුණි.

හදිසි සාකච්ඡාවක්

නමුත් හදිසියේම ප්‍රධාන අමාත්‍යවරයා යාපනයේ පිහිටි සිය කාර්යාලයේදී සාකච්ඡාවකට පැමිණෙන මෙන් උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන්ට, මන්ත්‍රීවරුන්ට මෙන්ම තවත් දෙමළ දේශපාලනඥයින් කීප දෙනෙකුටම ආරාධනය කොට තිබූ අතර එහිදී තමන් දෙමළ ජාතික සභාව පිහිටුවීමට බලපෑ හේතූන් මොනවාදැයි ඔවුන්ට විස්තර කොට තිබේ.

දෙමළ ජාතික සභාව කවර අන්දමකින් හෝ වැරදි දේශපාලන ක්‍රියාවලියකට සම්බන්ධ කර නොගන්නා බවටද ඉන් සිදු වන්නේ නව ව්‍යවස්ථාව සකස් කිරීම වැනි ක්‍රියා සදහා අවශ්‍ය වටපිටාවක් සකස් කිරීම බවට ද සහතික වීමෙන් පසුව ප්‍රධාන අමාත්‍යවරයා තවදුරටත් දෙමළ ජාතික සභාවේ නායකයා වශයෙන් සිටීම සෙසු පිරිස විසින් අනුමත කොට තිබේ.

යෝජනාවක්

ලබන 26 වෙනිදා උතුරු පළාත් සභාව රැස්වන අවස්ථාවේදී මේ පිළිබදව යෝජනාවක් ඉදිරිපත් කොට ප්‍රධාන අමාත්‍යවරයා දෙමළ ජාතික සභාවේ නීත්‍යානුකූල සභාපතිවරයා ලෙස සම්මත කිරීමට තීරණය වූ බවද අද යාපනයේදී පැවති සාකච්ඡාව පිළිබදව අදහස් දැක්වූ උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් පැවසීය.

මීට අමතරව ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව ද උතුරු පළාත් සභාවේ ඉදිරි කටයුතු ගැනද සාකච්ඡා කළ බව කී ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා විසි එක් වෙනිදා කිළිනොච්චියේ දී පැවැත්වීමට නියමිත දෙමළ ජාතික සන්ධානයේ කමිටු රැස්වීමේ දී තවත් කරුණු ගණනාවක් සාකච්ඡා කිරීමට තීරණය වූ බවද පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර