ප්‍රතිජීවක නව ඖෂධ නිපදවීමේ එකමුතු ප්‍රයත්නයක්

ප්‍රතිජීවක නව ඖෂධ සඳහා අවශ්‍ය පර්යේෂණ සහ ඒවා නිෂ්පාදනය කිරීම සඳහා මූල්‍ය ප්‍රාග්ධනය සම්පාදනයෙහි ලා නව මාවත් සොයා ගැනීම සම්බන්ධයෙන් පියවර ගන්නා මෙන් ප්‍රමුඛ පෙළේ ඖෂධ සමාගම් ලෝකයේ ආණ්ඩුවලින් ඉල්ලීමක් කරති.

දැනට භාවිතා කෙරෙන ප්‍රතිජීවක ඖෂධ මගින් මැඩලිය නොහැකි ක්‍ෂුද්‍රජීවීන් නිසා හට ගනු ලබන ආසාදනය වීම් පාලනය කර ගැනීමට එකමුතු ප්‍රයත්නයක් දැරීමේ උවමනාවක් උද්ගත වී ඇති බවයි එම සමාගම් පෙන්වා දෙන්නේ.

දැනට පවතින අනාරක්ෂිත භාවය හමුවේ ලෝකයේ දශ ලක්ෂ සංඛ්‍යාත ජනකායක ශරීර සෞඛ්‍යය අනතුරුදායක තත්වයක පවතින බවත් එම සමාගම් කියා සිටිති.

ජී.එස්.කේ (GSK) ෆයිෂර්( Pfizer) සහ ජොන්සන් සහ ජොන්සන් (Johnson & Johnson) වැනි මහා පරිමාණයේ සමාගම් ඇතුළු අසූවකට අධික ඖෂධ සමාගම් ඉහත කී ප්‍රකාශනයට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

එම සැලැස්ම දියත් කරනු ලැබ තිබෙන්නේ ස්විට්සර්ලන්තයේ ‘ඩේවෝස්’ (Davos.) නගරයේ මුළු දෙන ලෝක ආර්ථික සමුළුවේ දී.

Image caption ප්‍රතිජීවක ඖෂධ වලට ඔරොත්තු දෙන චීනයෙන් සොයා ගත් බැක්ටීරියාවක්

මෙතෙක් සොයා ගනු ලැබ ඇති සියලු වර්ගයේ ප්‍රතිජීවක ඖෂධ වලට ඔරොත්තු දෙන බැක්ටීරියාවක් චීනයෙන් හමු වීමත් සමඟ ක්‍ෂුද්‍ර ජීවීන් මගින් සිදු වෙන ආසාදනය වීම් පැතිර යාම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදු කෙරෙමින් පවතියි.