ථේරවාදී කතිකාවත කාලීන අවශ්‍යතාවයක්: මල්වතු මහනාහිමි

Image caption 'එවකට පැවති රජය අත්‍යවශ්‍යව පැවති ඒ ශාසනික කටයුත්තට හුදෙක් දේශපාලනික අරමුණු නිසා මූලික තැනක් නොදුන් බව පෙනේ'

'ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනතට' සහාය ලබා දීම කාලීන අවශ්‍යතාවක් බව මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ පවසති.

අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරන මල්වතු මහනාහිමියෝ 'ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත' සම්මත කොට නීති ගත කිරීම සඳහා ''දේශපාලන පක්ෂ සහ වෙනත් පටු පරමාර්ථයන්හි නොපිහිටා කටයුතු කිරීමේ වැදගත්කම'' පෙන්වා දෙති.

අතීතයේ රට පාලනය කරනු ලැබූ රජවරුන්ගේ ප්‍රධානත්වයෙන් ධර්මධර සහ විනයධර මහතෙරුන්ගේ මූලිකත්වයෙන් සම්මුතීන්ට පැමිණ කතිකාවත් ඇති කොට භික්ෂු ශාසනය ශෝධනය කළ ආකාරය ඉතිහාස වාර්තා පෙන්වා දෙන බවත් මල්වතු මහානායක හිමියෝ ලිපියේ සඳහන් කරති.

"ඒ නයින් බලන විට ධර්මධර සහ විනයධර මහතෙරුන්ගේ සම්මුතියෙන් ඇති කර ගන්නා ලද ශාසනික කතිකාවත්වලට රාජ බලය හෙවත් නෛතික බලය ලබා ගැනීම වර්තමාන රජය යටතේ පමණක් ඇති වූවක් නොවෙයි," ලිපියේ සඳහන්.

මෙවැනි පනතක අවශ්‍යතාව පිළිබඳ කරුණු සහ ඒ සඳහා අවශ්‍ය සම්මුතීන් පිළිබඳ පැවති රජයේ අවධානයට යොමු කළ බවත් උන්වහන්සේ සඳහන් කරති.

පැවති රජය

"එහෙත් එවකට පැවති රජය අත්‍යවශ්‍යව පැවති ඒ ශාසනික කටයුත්තට හුදෙක් දේශපාලනික අරමුණු නිසා මූලික තැනක් නොදුන් බව පෙනේ," ලිපියේ සඳහන්.

බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ගත යුතුව තිබූ එවැනි ක්‍රියාමාර්ග මගහැර යෑම සහ 'ඇතැම් දේශපාලනික අරමුණු අරභයා එවැනි කරුණු නොසලකා හැරීම' හේතුවෙන් වර්තමානයේ බුද්ධ ශාසනය සම්බන්ධයෙන් පවතින තත්වය ගැටළු සහගත අවධියකට ළඟා වී ඇති බවයි, මල්වතු පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ඉහත කී ලිපිය ඔස්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

'ථෙරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීම' නමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව භික්‍ෂූන් වහන්සේ ඇතුළු බොහෝ දෙනා එයට විරෝධය පළ කළහ.

එහෙත් ශ්‍රී ලංකා රජය සිදු කළේ භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි භික්ෂූ කතිකාවත්වලට අවශ්‍ය නීතිමය බලය ලබා දීම පමණක් බව, එම විවේචනවලට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කළේය.

භික්ෂූන් වහන්සේ පාලනය පිණිස නීති පැනවීමට උත්සාහ කරන බවට රජයට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ ඔහු අවධාරණය කළේ, භික්‍ෂූන් වහන්සේ පාලනය මහානායක හිමිවරුන් සතු වගකීමක් බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර