IS මුලිනුපුටා දමනවා -ඇෆ්ගන් ජනපති

Image copyright Getty Images

ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වන ඉස්ලාම් රාජ්‍ය සංවිධානය මුලිනුපුටා දමන බව ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ගානි පවසයි.

ඔහු මේ බව කියා සිටියේ බීබීසිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.

තාලිබාන් සටන්කරුවන් සහ ඇෆ්ගනිස්තාන රජයේ හමුදා සමග මේ වන විට ඉස්ලාම් රාජ්‍ය සංවිධානය දරුණු ලෙස සටන් වැදෙමින් සිටියි.

ඉස්ලාම් රාජ්‍ය සංවිධානය ඇෆ්ගනිස්තාන ජනතාව තුලින් උපන් දෙයක් නොවන බවත් IS සටන්කරුවන්ගේ කෘරත්වය සාමාන්‍ය ජනතාව වෙනස් කරන බවත් ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ගානි බීබීසියට පැවසීය.

ඇෆ්ගනිස්තානය විශාල අවදානමක

කෙසේ වෙතත් ලෝක ආර්ථික සමුළුවට සහභාගී වූ ජනාධිපති අෂ්රෆ් ගානි වැඩි දුරටත් කියා සිටියේ සිය රට මුහුණ පා තිබෙන්නේ ඉතා විශාල අවදානමකට බව තර්ක කිරීමකින් තොරව පිලි ගන්නා බවයි.

Image copyright EPA
Image caption ඇෆ්ගනිස්තානයේ IS සටන්කරුවන් බවට සැක පිට අත්අඩංගුවට පත්වූවන්

ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වන ඉස්ලාම් රාජ්‍ය සංවිධාන ශාකාව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස පසුගිය සතියේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නම් කරනු ලැබීය.

පකිස්තාන සහ ඇෆ්ගනිස්තාන තාලිබාන් සංවිධාන වලින් ඉවත් වූ ජේෂ්ට කැරලිකරුවන් විසින් පසුගිය වසරේ ජනවාරි මාසයේ ඇෆ්ගනිස්තානය තුල මෙම ශාකාව පිහිටූ බවයි එම වාර්තාවෙන් පැවසෙන්නේ.

තාලිබාන සංවිධානය ඇෆ්ගනිස්තානය තුල 2001 වසරෙන් පසු ලද විශිෂ්ටම ජයග්‍රහණය සනිටුහන් කරමින් පසුගිය සැප්තැම්බර් මාසයේ ‘කුන්දුස්’ නගරය සම්පූර්ණයෙන්ම යටත් කර ගැනීමට සමත් වූ අතර දෙසැම්බර් මාසයේ තවත් ප්‍රධාන නගරයක් වන ‘සැන්ගින්’ නගරයේ බලය අල්ලා ගැනීමට සමත් විය.

IS සංවිධානයට එරෙහි තාලිබාන් බලකායක්

Image copyright Reuters

මේ හේතුවෙන් ඇෆ්ගනිස්තාන රාජ්‍ය හමුදා ඉතා දැඩි පරිශ්‍රමයක් දරමින් රට තුල ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය මැඩලීමේ මෙහෙයුම් වල නියැලෙමින් සිටියි.

කෙසේ වෙතත් ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට එරෙහිව තාලිබාන් කැරලිකරුවන් සටන් වැදීම තුල IS ආධිපත්‍ය කලාපය තුල පැතිරීම යම් පමණකට සීමා වී ඇති බවයි ඇෆ්ගන් රාජ්‍ය හමුදා පවසන්නේ.

මේ අතර තාලිබාන් සංවිධානය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ ඇෆ්ගනිස්තානය තුල ක්‍රියාත්මක වන IS සංවිධානය සමග සටන් වැදීමට පමණක් තාලිබාන් කැරලිකරුවන් 1000 කින් සමන්විත බලකායක් අනුයුක්ත කර ඇති බවයි.

Image copyright Reuters
Image caption ඇෆ්ගනිස්තානයේ ජලාලාබාද් හි මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසු ගන්නා ලද ඡායාරූපයක්

එළඹෙන අප්‍රේල් මාසය වන විට තාලිබාන් සංවිධානය සමග සාම සාකච්ඡා පැවැත්වීම ආරම්භ කල නොහැකි වුවහොත් කලාපය පුරා ඉතා දරුණු සටන් පැතිර යාමට ඉඩ ඇති බවටයි ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයා අනතුරු අඟවන්නේ.

සිය රට තුල පවතින යුද්ධය කතාවේ එක කොටසක් පමණක් වන බව නිරීක්ෂකයන් වටහා ගත යුතු බව පවසන ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ පකිස්තානයේ පවතින පුළුල් යුධමය තත්වය සැලකිල්ලට ගැනීම වැදගත් බවයි.

'සංක්‍රමණිකයන්ට යුරෝපයේ අනාගතයක් නෑ'

සාම සාකච්ඡා වලට සහභාගී වීමට එකඟතාව පල නොකළ පකිස්තාන තාලිබාන් කණ්ඩායම් වලට එරෙහිව පකිස්තාන රජය පියවර ගත යුතු බව ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ගානිගේ අදහසයි.

Image copyright EPA

යුරෝපය කරා ඇදෙන ඇෆ්ගනිස්තාන සංක්‍රමණිකයන්ට ලබා දෙන පණිවුඩය කුමක්දැයි බීබීසි ලෝක සේවය විසින් අවසානයේ ජනාධිපතිවරයා වෙත යොමු කළ ප්‍රශ්නය පිළිතුරු දෙමින් ජනාධිපති අෂ්රෆ් ගානි කියා සිටියේ යුරෝපය සිය දේශ සීමා වසා දමන අතර ඇෆ්ගනිස්තාන සංක්‍රමණිකයන්ට යුරෝපයේ පැහැදිලි අනාගතයක් දැකිය නොහැකි බව ඔවුන් වටහා ගත යුතු බවයි.