සෞදියේ සිටි උගන්ඩා ගෘහ සේවිකාවන් ආපසු කැඳවයි

Image copyright AFP
Image caption සිය පුරවැසියන්ට, සේවය සඳහා සෞදිය වෙත යෑම ඉන්දුනීසියාව, ඉතියෝපියාව සහ පිලිපීනය යන රටවල් විසින් ද තහනම් කරනු ලැබ ඇත

සෞදි අරාබියේ කොටු වී සිටින උගන්ඩා ජාතික කාන්තාවන් හත් දෙනකු නැවත සිය රටට ගෙන්වා ගන්නා බව උගන්ඩා ආණ්ඩුව නිවේදනය කළේය.

ගෘහ සේවය සඳහා සෞදිය බලා යෑම සිය රටේ කාන්තාවන්ට තහනම් කිරීමට උගන්ඩා ආණ්ඩුව පියවර ගනු ලැබුවේ මීට දින කීපයකට ඉහතදීයි.

උගන්ඩාව එම පියවර ගනු ලැබුවේ හාම්පුතුන් විසින් උගන්ඩා ජාතික කාන්තාවන් විශාල වශයෙන් අපයෝජනයට ලක් කොට ඇති බවට වාර්තා පළ වීමත් සමගයි.

රියාද් අගනුවර සංක්‍රමණික සේවකයන්ට නවාතැන් ලබා දෙන ස්ථානයක සිටියදී ඉහත කී කාන්තාවන් සොයා ගත් බවයි උගන්ඩා ආණ්ඩුව පවසන්නේ.

තහනමක්

නැවත සිය රට බලා පැමිණීමට ගුවන් ප්‍රවේශ පත් මිළදී ගැනීම සඳහා එම කාන්තාවන් අත ප්‍රමාණවත් මුදල් තිබී නොමැති බව උගන්ඩා බලධාරීහු කියා සිටියහ.

බහුතරයක් තරුණියන්ට යථාර්ථය වසන් කොට බොරු පොරොන්දු ලබා දෙමින් රැකියා ලබා දී ඇති බව සෞදියේ සිටින උගන්ඩා තානාපති ෂේක් රෂීඩ් සෙමුද්දු සඳහන් කළේය.

සිය පුරවැසියන්ට, සේවය සඳහා සෞදිය වෙත යෑම ඉන්දුනීසියාව, ඉතියෝපියාව සහ පිලිපීනය යන රටවල් විසින් ද තහනම් කරනු ලැබ ඇත.

මූලික සේවක අයිතීන් සහතික කිරීම සඳහා සෞදි අරාබිය පියවර ගන්නා තෙක් තහනම ක්‍රියාත්මක කරන බවයි එම රටවල් පවසන්නේ.