බර පැන දරන්න බැහැ: වෛද්‍ය සිසුවියන් තිදෙනෙක් දිවි නසා ගනිති

Image caption මොනීෂා, වී ප්‍රියංකා සහ සාරන්යා

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් අසාධාරණ අයුරින් තමන්ගෙන් ගාස්තු අය කළ බවට ලිපියක් ලියා තබමින් එහි ඉගනුම ලැබූ ඉන්දීය වෛද්‍ය සිසුවියන් තිදෙනෙක් සිය දිවි නසා ගත්හ.

තමන්ගෙන් අසාධාරණ අයුරින් ගාස්තු අය කර ගැනීමට අමතරව 'එස්වීඑස් යෝගා වෛද්‍ය විද්‍යාලය ප්‍රමාණවත් අධ්‍යාපනයක් සහ අධ්‍යාපන පහසුකම් ලබා නොදෙන බවටත්' දහඅට හැවිරිදි ඊ සරන්යා, වී ප්‍රියංකා සහ දහනව හැවිරිදි මොනිෂා යන සිය දිවි නසා ගත් සිසුවියන් සිය ලිපියේ සඳහන් කොට ඇත.

ඉහත කී සිය දිවි හානි කර ගැනීම් සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ පොලිසිය පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙයි.

සිසුවියන් තිදෙනා සිය දිවි හානි කොට ගෙන ඇත්තේ වෛද්‍ය විද්‍යාලයේ ළිඳකට පැනීමෙන්.

තමාගෙන් අසාධාරණ ලෙස මුදල් අය කර ගත් බවටත් ඒ සඳහා කුවිතාන්සියක් ලබා නොදුන් බවටත් දැරියන් සිය ලිපියෙන් වෛද්‍ය විද්‍යාලයීය පාලන අධිකාරියට චෝදනා කොට ඇත.

එම ඛේදවාචකයෙන් අනතුරුව එහි සෙසු සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් ඇතුළු කණ්ඩායම් වෛද්‍ය විද්‍යාලයේ පාලකයන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් උද්ඝෝෂණ පැවැත්වූහ.

'පහසුකම් නැහැ'

Image caption වෛද්‍ය විද්‍යාලය තුළ මූලික පහසුකම් අවම මට්ටමේ පවතින බව වාර්තාවල සඳහන්
Image caption වෛද්‍ය විද්‍යාලය විසින් පවත්වාගෙන යනු ලබන 'වාට්ටුව'

පොලිසිය වංචා කිරීම හා සිය දිවි නසා ගැනීමට අනුබල දීම යන චෝදනා යටතේ වෛද්‍ය විද්‍යාලයේ හිමිකරුගේ පුතු සහ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

නිසි අධ්‍යාපන පහසුකම් නොමැති නමුත් ඉහත කී වෛද්‍ය විද්‍යාලය ගාස්තු වශයෙන් ඉන්දීය රුපියල් ලක්ෂ පහ බැගින් එහි ඉගනුම ලබන සිසු සිසුවියන් සිය දෙනාගෙන් අය කර ගෙන ඇති බවත් එක් පුවත්පත් වාර්තාවක සඳහන් වෙයි.

තවත් පුවත්පතක් වාර්තා කොට තිබුණේ එස්වීඑස් යෝගා වෛද්‍ය විද්‍යාලය සතු මෘත ශරීරාගාරය සහ ශල්‍යකර්ම ඒකකය භාවිතයට සුදුසු නොමැති බවයි.

අසාධාරණ අයුරින් ගාස්තු අය කිරීම් සිදු කළ බව පවසමින් යෝගා වෛද්‍ය විද්‍යාලයට එරෙහිව එහි සිසු සිසුවියන් පසුගිය වසරේ ද උද්ඝෝෂණ කීපයක් පවත්වා ඇති බවත් වාර්තා වේ.