හිටපු ජනපති බැග්බෝ යුධ අපරාධ අධිකරණයට

Image copyright afp
Image caption අයිවරි කෝස්ට් හිටපු ජනාධිපති ලෝරන්ට් ගබග්බෝ

අයිවරි කෝස්ට් හිටපු ජනාධිපති ලෝරන්ට් බැග්බෝ (Laurent Gbagbo) නෙදර්ලන්තයේ හේග් නගරයේ ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය ඉදිරියට ගෙන එනු ලැබුණි.

ඔහුට එරෙහි චෝදනා ඉදිරිපත් කරන ලද අවස්ථාවේ ලෝරන්ට් බැග්බෝ කියා සිටියේ,'තමාට එරෙහි යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා වලට නිවැරදිකරු' වන බවයි.

අඳුරු පැහැති යුරෝපීය ඇඳුමකින් සැරසී අධිකරණය ඉදිරියේ පෙනී සිටි හිටපු ජනාධිපතිවරයා සැහැල්ලුවෙන් විත්ති පාර්ශවය සමග සිනාසෙනු දක්නට ලැබිණ.

Image copyright BBC World Service
Image caption අයිවරි කෝස්ට් 2010 මැතිවරණයෙන් පසු

2010 වසරේ අයිවරි කෝස්ට් මැතිවරණයෙන් පසු ආරක්ෂක අංශ සහ යුද්ධ පුහුණුව ලැබූ මහජන හමුදා යොදා ගෙන ඝාතන සහ කාන්තා දූෂණ සිදු කළ බවටයි ලෝරන්ට් බැග්බෝට චෝදනා එල්ල වී තිබෙන්නේ.

කලබලකාරී වාතාවරණයක්

තුන්දහසකට අධික ජීවිත හානියක් සිදු කළ එම ප්‍රචණ්ඩකාරී වාතාවරණය ඇති වුයේ හිටපු ජනාධිපතිවරයා විසින් මැතිවරණයෙන් ලද පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමගයි.

රැලියකට සහභාගී වූ කාන්තාවන් තිස් අටදෙනකු දූෂණය කිරීම, වෙළඳ පොළකට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් පුද්ගලයන් දහ දෙනකු ඝාතනය කිරීම ඇතුළු අපරාධ චෝදනා රැසක් අයිවරි කෝස්ට් හිටපු නායකයාට එරෙහිව හේග් යුද අපරාධ අධිකරණයේ නීති නිලධාරියා විසින් කියවන ලද චෝදනා පත්‍රයට ඇතුළත් විය.

Image copyright AP

නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියේ පොලිසිය සහ බැග්බෝ ආධාරකරුවන් අතර ගැටුම්කාරී වාතාවරණයක් පැවති බවත් වාර්තා වෙයි.