මියන්මාර් ජනපති රටේ දේශපාලන පෙරළිය අගයයි

Image caption ජනාධිපති තීන් සෙයින්

මියන්මාර් ජනාධිපති තීන් සෙයින් රටේ දේශපාලන පරිවර්තනය අගය කිරීමට ලක් කරමින් අදහස් දැක්වීය.

ජනාධිපතිවරයා එම අගය කිරීම සිදු කළේ යුද හමුදා බහුතරයක් සහිත මියන්මාර් පාර්ලිමේන්තුව අමතා සිය අවසන් කතාව කරමිනි.

රට තුළ සිදු වෙන බල පෙරළිය ප්‍රජාතාන්ත්‍රික පරිවර්තනයක් හැටියට විග්‍රහ කළ මියන්මාර් ජනාධිපතිවරයා නව වෙනස සියලු මියන්මාර්වාසීන්ගේ විජයග්‍රහණයක් වන බවයි කියා සිටියේ.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වුන මියන්මාර් මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ විපක්ෂ නායිකා අවුන් සාං සුකී නායකත්වය දෙන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයයි.

Image copyright AP
Image caption අවුන් සාං සුචි

නව පාර්ලිමේන්තුව ලබන මාසයේ රැස් වීමට නියමිත අතර එහි කතානායක පදවිය සඳහා සිය නියෝජිතයන් දෙදෙනකුගේ නම් ප්‍රජාතන්ත්‍රීය ජාතික ලීගය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.

ජනාධිපති පදවිය

නොවැම්බර් මහ මැතිවරණයේ දී සිය පක්ෂය ඇති විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළත් ජනාධිපති පදවියට පත්වීම අතින් අවුන් සාං සුකීට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහංචියක් බල පැවැත්වෙයි.

දැනට බල පැවැත්වෙන මියන්මාර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සිය පවුලේ සාමාජිකයකු වෙනත් රටක ද පුරවැසිභාවය දරන්නේ නම් ඔහුට හෝ ඇයට ජනාධිපති පදවියට පත් විය නොහැක.

අවුන් සාං සුකී ගේ සැමියා බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ අතර ඇයගේ දරුවන් ද බ්‍රිතාන්‍ය පුරවැසි භාවය දරති.