සිරියානු සාම සාකච්ඡා: අවිනිශ්චිත තත්වයක්

Image copyright AFP

ජිනීවා නුවර පැවැත්වීමට නියමිත සිරියානු සාම සාකච්ඡාවලට සහභාගි වන්නේද, නැද්ද යන්න ආණ්ඩුවට විරුද්ධ කණ්ඩායම් නිශ්චිතව ප්‍රකාශ නොකිරීම හේතුවෙන් සාකච්ඡා පිළිබඳව අවිනිශ්චිත ස්වභාවයක් හටගෙන තිබේ.

සිවිල් ජනතාව ඉලක්ක කර ගෙන එල්ල කරන බෝම්බ ප්‍රහාර නැවැත්වීමට කටයුතු කරන තෙක් සිය නියෝජිතයන් සාම සාකච්ඡා වලට සහභාගි නොවන බව විරුද්ධ කණ්ඩායම් ප්‍රකාශ කොට තිබුණි.

කෙසේ වෙතත් පසුව විරුද්ධ පාර්ශව කිහිපයක ප්‍රධානීන් පවසා තිබුණේ සාම සාකච්ඡාවට සහභාගි වීමට ඔවුන් සූදානම් බවයි.

Image copyright AFP

සිරියානු රජය නියෝජනය කරන නියෝජිත මණ්ඩලය අද දිනයේ දී ජිනිවා වෙත ලඟා වීමට නියමිතයි.

වීඩියෝ පණිවුඩයක් මගින් සිරියානු ජනතාව ඇමතූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත ස්ටැෆාන් ඩි මිස්තුරා සාම සාකච්ඡා අසාර්ථක නොවිය යුතු බව අවධාරණය කළේය.

මාස හයක කාලයක්

පස් වසරකට ආසන්න කාලයක් මුළුල්ලේ දිග ඇදෙන සිරියානු යුද්ධයෙන් මේ වන විට මිය ගොස් ඇති ප්‍රමාණය දෙලක්ෂ පනස් දහස ඉක්මවයි.

ඊට අමතරව එක්කෝටි දස ලක්ෂයක පිරිසක් බලහත්කාරයෙන් හමුදා වලට බඳවාගෙන ඇති අතර ජනාධිපති බශාර් අල් අසාද් ට පක්ෂ සහ විපක්ෂ වශයෙන් පිල් දෙකකට බෙදී එකිනෙකා සමග සටන් කිරීමට බල කෙරෙයි.

Image copyright .

තවත් ලක්ෂ පහකට අධික සිරියානු වැසියෝ මේ වන විට ආහාර සහ වෛද්‍ය සේවා අත්‍යවශ්‍ය තත්වයක පසු වෙති.

සාම සාකච්ඡා මාස හයක කාලයක් පුරා පැවැත්වීමට ඇස්තමේන්තු කර ඇති අතර මෙහි විශේෂත්වය එකිනෙකට විරුද්ධ පාර්ශව වෙන් කරන ලද ශාලා දෙකක සිට සාකච්ඡා පැවැත්වීමට කටයුතු යොදා තිබීමයි.

පාර්ශව දෙක විසින් ගනු ලබන තීරණ එකිනෙකාට දැනුම් දීම සහ තොරතුරු හුවමාරු කිරීමේ යෙදෙන්නේ අතරමැදියෙකු ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෝ කටයුතු කරති.