ඔලිම්පික් උළෙලටත් අභියෝග කරන ‘සිකා’ වයිරසය

Image copyright AFP

‘සිකා’වයිරසය මේ වසර ඇතුළත ඇමෙරිකානු කලාපයේ රටවල තිස් ලක්ෂයත් හතලිස් ලක්ෂයත් අතර ජන සංඛ්‍යාවකට ආසාදනය විය හැකි බවට ලෝක සෞඛ්‍යය සංවිධානය අනතුරු ඇඟවීමක් කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදය පවසන්නේ 2016 වසරේ අවසානය වන විට වයිරසය මැඩලීමේ එන්නත් අත්හදා බැලීම් ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වෙන බවයි.

මහාද්වීප සීමාවකින් තොරව සිකා වයිරසය පතුරුවා හරිමින් සිටින මදුරුවා ඩෙංගු සහ කහ උන රෝග ද පතුරුවා හරින වයිරස් වාහකයෙකි.

ගර්භනී මවක් සිකා මදුරුවාට ගොදුරු වුනොත් මව් කුසයේ දීම වයිරසයට ගොදුරු වෙන බිලිඳකු මෙලොව දකින්නේ මොළයේ ආබාධිත තත්වයක් සහිතව විය හැකිය. මදුරුවකු මගින් පැතිර යමින් පවතින සිකා වයිරසය බිලිඳුන් ගේ මොළයට සහ ස්නායු පද්ධතියටයි හානි සිදු කරයි.

වයිරසයට මුහුණ දීම සඳහා ලෝක සෞඛ්‍යය සංවිධානය මේ වන විට හදිසි කමිටුවක් ද පත් කරනු ලැබ ඇත.

Image copyright thinkstock

මෙයින් පෙර මෙවැනි හදිසි කමිටුවක් පත් කරනු ලැබුණේ 11000 කට මාරු කැඳවමින් බටහිර අප්‍රිකානු කලාපයේ ඉබෝලා වයිරසය පැතිර ගිය මොහොතේ.

ඉතිහාසය

සිකා වයිරසයේ ඉතිහාසය විපරම් කිරීමේ දී එය පළමු වතාවට හඳුනා ගනු ලැබ තිබෙන්නේ 1947 වසරේ උගන්ඩාවෙනි.

එහෙත් එය අද පවතින මට්ටමින් කිසිදාක ජන සමාජය ආක්‍රමණය කර නොතිබුණි.

දකුණු ඇමෙරිකානු කලාපයේ වෛරසය ආසාදනය වූ පළමු රෝගියා 2015 වසරේ බ්‍රසීලයෙන් වාර්තා විය.

මේ වන විට බ්‍රසීලයේ පන්ලක්ෂයත් පහලොස් ලක්ෂයත් අතර ජන සංඛ්‍යාවක් ආසාදනය වී ඇති බවයි ලෝක සෞඛ්‍යය සංවිධානය පවසන්නේ.

Image copyright Thinkstock
Image caption සිකා වයිරස් වාහක Aedes aegypti මදුරුවා

දකුණු ඇමෙරිකානු කලාපයේ විස්සකට අධික රටවල් වයිරසයට ගොදුරු වී ඇති බවත් වාර්තා වෙයි.

රෝග ලක්ෂණ

සිකා වයිරසය ආසාදනය වූවෙකුගෙන් කිසිදු බාහිර රෝග ලක්ෂණයක් ප්‍රදර්ශනය නොවිය හැකි අතර ඇතැම් වාර්තා අනුව වයිරසය ආසාදනය වූ බවට පෙරනිමිති විය හැක්කේ උන වැළඳීම සිරුර කසන්නට පටන් ගැනීම ආදියයි.

වයිරසය ආසාදනය වූ බිලිඳුන් උපත ලබන්නේ නො මේරූ මොළයක් සහිත කුඩා හිස් ඇතිවයි.

Image copyright Reuters
Image caption බරපතළ අවදානම ගර්භනී මව්වරුන්ට

එසේම ඔවුන් ඉතාම දුර්ලභ ස්නායු ආබාධයකට ද ගොදුරු වෙති.

සිකා වයිරසය ලෝකයට අනතුරු අඟවන්නේ මේ වයිරසයෙන් වැඩියෙන් ම බැටකන බ්‍රසීලයේ රියෝ දී ජනේරියෝ නගරයේ ඔලිම්පික් ක්‍රීඩා සැණකෙළිය අත ලඟට එමින් තිබියදීයි.

ඔලිම්පික් අභියෝගය

ක්‍රීඩා උළෙල ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් ඇති බවයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසන්නේ.

මේ උවදුරේ දී සමස්ත ලෝකය මුහුණ දෙන ගැටලුව වයිරසය මැඩලීමේ නිශ්චිත ප්‍රතිකාරයක් තවමත් නොවීම.

ඉතා ඉක්මනින් වසරක් ඇතුලත එන්නතක් සොයා ගත හැකි බවයි විද්‍යාඥයන් පවසන්නේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍යය ආයතනයේ නිලධාරීන් පවසන්නේ ප්‍රතිපල සහිත එන්නත් දෙකක් තමන් විසින් සොයා ගෙන ඇති බව.

එහෙත් ඉන් එකක් තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර එය චිකිත්සක පරීක්ෂණ සඳහා යෙදවෙන්නේ මේ වසර අවසානයේ බවයි වෛද්‍ය ඇන්තනි ෆොසී පවසන්නේ.

ප්‍රතිකාරයක් සොයා

ඖෂධ නිෂ්පාදනය කරන ‘ඉන්වියෝ’ සමාගමේ විද්‍යාඥයන් පවසන්නේ කලින් සිතුවාට වඩා ඉක්මනින් එන්නතක් සාර්ථක කර ගත හැකි බවයි.

Image copyright Getty
Image caption වෛරසයට ගොදුරු වූ බිලිඳෙක්

කුඩා සතුන් යොදා ගනිමින් එන්නතක් අත්හදා බලමින් පවතින අතර වානර ජීවීන් යොදා ගනිමින් ඉදිරියේ දී ඒවා අත්හදා බලන බවත් එම සමාගම පවසයි.

එහි තේරුම ඖෂධ සමාගම් මේ වන විට සිකා වයිරසය මැඩලිය හැකි එන්නතක් නිපදවා ගැනීමට අත ගසා ඇතත් ඖෂධය වෙළෙඳපොළට ඒමට තවත් වසර කීපයක් ගත වෙන බවයි.