ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දින තිස් හයක් පොළව යට

දින තිස් හයක් පොළොව යට සිර වී සිටි චීන පතල්කරුවන් පහළොස් දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට සහන සේවකයෝ සමත් වූහ.

බේරා ගනු ලැබූ පතල්කරුවන් පොළොව මතු පිටට රැගෙන ඒමට මත්තෙන් සිය හැඟුම්බර පණිවුඩ ජංගම දුරකතනයක් ආධාරයෙන් පටි ගත කොට ඇත.

පොළොව මතුපිට සිටිමින් සිය ජීවිත බේරා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින සහන කණ්ඩායම්වලට කඳුළු පිරි දෙනෙතින් යුතු පතල්කරුවන් ස්තුතිය පිරිනැමූහ.

චීනයේ නැගෙනහිරට වන්නට පිහිටි ෂැංඩොන් පළාතේ පතළයක උමඟක් තුළ සේවයේ යෙදී සිටි පතල්කරුවන් අනතුරට ලක් වූයේ පසුගිය දෙසැම්බර් විසිපස් වනදායි.

උමඟ තුළ සිර වූ පතල් සේවකයන් 29 දෙනාගෙන් 15 දෙනකුගේ දිවි බේරා ගනු ලැබූ අතර එක් අයකු මිය ගොස් ඇති බව තහවුරු වී තිබේ.

තවත් දහතුන් දෙනෙක් මේ දක්වා අතුරුදහන් වී සිටිති.

පතල්කරුවන් සිව් දෙනකු සහන සේවකයන් අමතා ස්තුතිය පිරිනමන ආකාරය චීන බලධාරීන් විසින් නිකුත් කරනු ලැබූ වීඩියෝ දර්ශනවල ඇතුළත්.

'ඔබ සියලු දෙනනටම ගොඩාක් ස්තුතියි. දැන් මට යම් කිසි සහනයක් සහ ආරක්ෂාකාරී බවක් දැනෙනවා' එක් පතල්කරුවෙක් කඳුළු පිරි දෙනෙතින් පැවසීය.

'හැමදාටම ඔබ සියලු දෙනා මගේ මතකයේ රැඳේවි' තවත් පතල්කරුවෙක් කියා සිටියේය.

බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන ආකාරය දැක්වෙන දර්ශන ඇතුළත් ජංගම දුරකතනයක් දින කීපයකට පෙර පතලය තුළට යවනු ලැබුවේ සිර වී සිටින පතල්කරුවන් වෙත සිය ජීවිත පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කිරීමේ අරමුණින්.

පොළොව මතු පිට සිදුරු කොට උමඟ තුළට ජලය සහ ආහාර ලබා දීමටත් සහන සේවකයෝ කටයුතු කොට තිබිණි.