මියන්මාරය: ජනාධිපති පදවිය අර්බුදයක්

Image copyright Getty

මියන්මාරයේ පනස් වසරකට පසු පැවති ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයෙන් තෝරා පත් කෙරුණු පාර්ලිමේන්තුව එහි පළමු සැසි වාරය පවත්වනු ලැබීය.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ (NLD) මන්ත්‍රීවරු සිය ගණනක් මෙන්ම සුළු පක්ෂ හරහා පැමිණි මන්ත්‍රීවරුන් ද අද දිනයේ දිවුරුම් දීම සිදු කරමින් සිය ධුර වල වැඩ භාර ගනු ලැබිණ.

අවුං සාන් සුචී විසින් නායකත්වය දෙන ලද ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය (NLD) පසුගිය නොවැම්බර් මාසයේ පැවති තීරණාත්මක මැතිවරණයෙන් 80% ක් පාර්ලිමේන්තු ආසන දිනා ගැනීමට සමත් විය.

Image copyright Reuters

නමුත් පාර්ලිමේන්තුවේ 25%ක ආසන හිමි වන්නේ මහජන ඡන්දයෙන් තොරව පත් වූ හමුදා නිලධාරීන්ටයි.

ජනාධිපති ධුරය කාටද?

එළඹෙන මාර්තු මාසයේ දැනට ජනාධිපති ධුරය හොබවන තෙයින් සෙයින් ඉවත් වීමෙන් පසු නව ජනාධිපතිවරයෙක් තෝරා පත් කර ගැනීම නව පාර්ලිමේන්තුවට පැවරෙන එක් ප්‍රධාන කාර්යභාරයකි.

කෙසේ වෙතත් හමුදා පාලනය යටතේ වසර පහළොවක් නිවාස අඩස්සියේ සිටි NLD නායිකා අවුං සාන් සූචි ට ජනාධිපති ධුරය වෙනුවෙන් ඉදිරිපත් වීමේ හැකියාවක් නොමැත.

දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ මියන්මාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිම විදේශික ජාතිකත්වයක් ඇති දරුවන් සිටින පුද්ගලයෙකුට ජනාධිපති ධුරය හෙබවිය නොහැක යන වගන්තිය හුදෙක් අවුං සාන් සූචිව ඉලක්ක කර ගෙන ඇතුළත් කර ඇති බවයි.

මැතිවරණ පොරොන්දුවක් ලෙස අවුං සාන් සුචී කියා සිටියේ මෙම බාධක කුමක් පැමිණියත් තමන් ජනාධිපතිට ඉහල තනතුරක් පනවා හෝ මියන්මාරයේ පාලනය ගෙන යාමට කටයුතු කරන බවයි.