මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් ජනාධිපති ෂූමාට චෝදනා

Image copyright Getty
Image caption ජනාධිපති ෂූමා

සිය ගම්බද නිවාසයක් අලුත්වැඩියා කිරීම සඳහා යොදවන ලද මහජන මුදල් යළි ආපසු ගෙවීමට දකුණු අප්‍රිකාවේ ජනාධිපති ජේකබ් ෂූමා එකඟ වී සිටියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ඉදිරියේ ලබන සතියේ විභාගයක් ආරම්භ කරනු ලැබීමට නියමිතව පවතින අතරයි ජනාධිපති ෂූමා එම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ.

සිය ‘එන්කන්ද්ලා’ (Nkandla)ගොවිපොළ තුළ සිදු කරන ලද ඉදිකිරීම්වල දී කිසිදු වැරදි ක්‍රියාවක් සිදු කර නොමැති බවයි ජනාධිපති ජේකබ් ෂූමා කියා සිටින්නේ.

එහෙත් එම වතු යායේ පිහිනුම් තටාකයක්, රඟහලක් සහ ධාවන පථයක් ඉදි කරනු සඳහා මහජන මුදල් යොදා ගෙන ඇති බව හෙළිදරව් වී ඇති බවයි ආණ්ඩුවේ නීතිපතිවරයාගේ වාර්තාවක දැක්වෙන්නේ.

ඒ අනුව ජනාධිපතිවරයා සිය පෞද්ගලික ගොවිපොළේ ඉදිකිරීම් සඳහා මහජන බදු මුදල්වලින් ඩොලර් එක් කෝටි පනස් ලක්ෂයකට අධික මුදල් සම්භාරයක් වැය කරනු ලැබ ඇති බවයි සොයා ගනු ලැබ තිබෙන්නේ.

Image copyright Reuters
Image caption ෂූමාගේ ගම්බද නිවාසය

එකී වියදම් වලින් කොටසක් ආපසු ගෙවන ලෙසත් නීතිපතිවරයා නිර්දේශ කර ඇත.

දකුණු අප්‍රිකානු නායකයා එම නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව විපක්ෂය විසින් අධිකරණය ඉදිරියේ ඊට එරෙහිව නඩු පවරනු ලැබයි තිබුණේ.

මේ අතර ජේකබ් ෂූමා දැන් පවසන්නේ මේ ආරාවුල නිරාකරණය කර ගැනීම සඳහා විගණකාධිපතිවරයා සහ මුදල් ඇමතිවරයා විසින් තමා ආපසු ගෙවිය යුතු මුදල තීන්දු කළ යුතුව ඇති බවයි.

එහෙත් එවැනි ගිවිසුමකට තමන් එකඟ නැති බව දකුණු අප්‍රිකාවේ විපක්ෂය කියා සිටියි.