‘ජුලියන් අසාන්ජ්ට බ්‍රිතාන්‍යයෙන් සමාවක් නෑ’

Image copyright AFP
Image caption අසාන්ජ්ට මහජන සහයෝගය

‘විකිලීක්ස්’ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවක් විසින් කවර නිගමනයක් ගනු ලැබුනත් තමන් ඊට එරෙහි වෙන බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව කියා සිටියි.

ජුලියන් අසාන්ජ් ලන්ඩන් නගරයේ එක්වදෝර් තානාපති කාර්යාලයේ රැඳී සිටින අතර තානාපති මුක්තිය යටතේ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට එහි ඇතුල් වීමට නොහැකිව ඇත.

මේ අතර ජුලියන් අසාන්ජ් සම්බන්ධයෙන් පරීක්ෂා කළ එක්සත් ජාතීන්ගේ කමිටුව ස්වීඩන් සහ බ්‍රිතාන්‍ය ආණ්ඩු විසින් 2010 පටන් ඔහු ‘අත්තනෝමතික ලෙස සිර කර තබා සිටින’බවයි නිගමනය කර තිබෙන්නේ.

Image copyright PA
Image caption විකිලීක්ස් වෙබ් අඩවිය මගින් ඇමෙරිකානු රහස්‍ය තොරතුරු හෙළිකරනු ලැබ ඇත.

අසාන්ජ් ස්වීඩනයේ දී සිදු කරන ලද ලිංගික අතවර සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අතර ඔහු තමන්ට භාර දෙන මෙන් ස්වීඩන් ආණ්ඩුව ඉල්ලා සිටියි.

එම චෝදනා බැහැර කරන අසාන්ජ් බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් තමා ස්වීඩනයට භාර දෙනු ලැබීමෙන් වැළකීමටයි එක්වදෝර් තානාපති කාර්යාලයේ සරණ ලැබ සිටින්නේ.

එක්වදෝර් රාජ්‍යය ‘විකිලීක්ස්’ නිර්මාතෘවරයාට එරට සරණාගතභාවය පිරිනමන ලද අතර ඔහු තානාපති කාර්යාලයට ඇතුල් වුනේ 2012 වසරේ.

මෙම කාරණය විභාග කළ එක්සත් ජාතීන්ගේ කමිටුව කියා සිටියේ ඔහු නිදහස් කළ යුතු අතර වන්දි ගෙවීමක් ද සිදු කළ යුතු බවයි.

එක්සත් ජාතීන්ගේ කමිටුව විසින් කරන ලද නිර්දේශය බැහැර කරමින් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ සිය රටේ තීන්දුවේ කිසිදු වෙනසක් සිදු වී නැති අතර අසාන්ජ් තානාපති කාර්යාලයෙන් පිටතට ආවොත් අත්අඩංගුවට ගන්නා බවයි.