ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තායිවාන් භූමිකම්පාව: දිවි බේරුණ අය සොයා

තායිවානයේ ඇති වූ භූමිකම්පාවත් සමග එරට දකුණු දිග 'ටායිනන්' නගරයේ ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර එකොළොස් දෙනෙකුවත් මරුමුවට පත් වී ඇති බව බලධාරීහු පවසති.

කඩා වැටුණු මහල් නිවාසවල සුන්බුන් අතර සිර වී සිටින පුද්ගලයන් සොයා සහන කණ්ඩායම් බේරා ගැනීමේ මෙහෙයුම්වල නිරත වී සිටිති.

තවත් පුද්ගලයන් තිස් දෙනකුවත් අතුරුදහන් වී ඇති බවයි බලධාරීන් කියා සිටියේ.

සිකුරාදා උදෑසන ඇති වූ භූමිකම්පාව රික්ටර් මාපකයේ සඳහන් වූයේ මැග්නිටියුඩ් 6.4 ලෙසයි.

ලක්ෂ විස්සක ජනගහනයක් වෙසෙන 'ටායිනන්' නගරයේ නිවාස අහිමි වූවන්ට තාවකාලිකව රැඳී සිටීමට අවශ්‍ය පහසුකම් ලබා දෙනු ඇති බව තායිවාන ජනපතිවරයා ප්‍රකාශ කළේය.

කඩා වැටුණු ගොඩනැගිලි තුළ සිර වී සිටින පුද්ගලයන් බේරා ගැනීම සඳහා සහන සේවකයන් උත්සාහ ගන්නා ආකාරය රූපවාහිනී දර්ශන හරහා දැක ගත හැක.

1999 වසරේදී තායිවානයේ මධ්‍යම ප්‍රදේශයේ ඇති වූ භූමිකම්පාවට ගොදුරු වී මරුමුවට පත් පිරිස දෙදහස් තුන්සියයකට අධිකයි.

එම භූමිකම්පාව රික්ටර් මාපකයේ සඳහන් වූයේ මැග්නිටියුඩ් 7.6 ලෙසයි.