උතුරු කොරියානු රොකට්ටුව දැඩි විවේචනයට

Image copyright EPA

උතුරු කොරියාව විසින් දුර විහිදුම් රොකට්ටුවක් අභ්‍යවකාශ ගත කරනු ලැබ ඇති අතර විවේචකයන් පවසන්නේ මේ සඳහා ජාත්‍යන්තරයේ තහනම් කරන ලද මිසයිල තාක්ෂණය උපයෝගී කර ගෙන ඇති බවයි.

උතුරු කොරියානු රාජ්‍ය රූපවාහිනිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රොකට්ටුව මගින් පෘතුවි කක්ෂයේ සාර්ථකව චන්ද්‍රිකාවක් ස්ථාන ගත කළ බවයි.

එක්සත් ජාතීන්ගේ යෝජනාවලියට එරෙහිව යමින් උතුරු කොරියාව විසින් මෙලෙස රොකට්ටුවක් අභ්‍යවකාශ ගත කිරීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතියි.

දණ්ඩනීය සම්බාධක

Image copyright EPA KCTV

දකුණු කොරියානු ජනාධිපතිනිය අවධාරණය කළේ මෙම ක්‍රියාවට දැඩි විරෝධය එල්ල කරමින් උතුරු කොරියාවට දණ්ඩනීය සම්බාධක පැනවීමට අවශ්‍ය බවයි.

ජපානයේ ගුවන් කලාපය හරහා මේ ආකාරයෙන් රොකට්ටුවක් අභ්‍යවකාශ ගත කිරීම කිසිම ආකාරයකට ඉවසිය නොහැකි ක්‍රියාවක් ලෙස හෙලා දකින බවයි ජපානය පවසන්නේ.

Image copyright AFP

උතුරු කොරියාවේ ක්‍රියාකලාපය හෙලා දකිමින් රුසියාව පවසන්නේ මෙමගින් ජාත්‍යන්තරයේ ගැටුම් කාරී විරෝධතා හටගැනීමට ඉඩ ඇති බවයි.

උතුරු කොරියාව විසින් ගෙන ඇති මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් යම් තර්ජනයක් එල්ල වුවොත් සිය රට සහ මිත්‍ර රටවල් වල ආරක්ෂාව වෙනුවෙන් හැකි සෑම පියවරක්ම ගන්නා බව ඇමරිකාව නිවේදනය කර තිබේ.