තායිවාන භූමිකම්පාව: මරණ සංඛ්‍යාව ඉහළට

Image copyright Reuters

තායිවානයේ ඊයේ හට ගත් භූමිකම්පාවෙන් දකුණු දිග 'ටායිනන්' නගරයේ කඩා ගෙන වැටුණු නිවාස සංකීර්ණයක සුන්බුන් අතර සිරවී සිටි තරුණයෙකු බේරා ගැනීමට අද දිනයේ සහන කණ්ඩායම් සමත්ව තිබේ.

කඩා වැටුණු මහල් නිවාසවල සුන්බුන් අතර සිර වී සිටින පුද්ගලයන් සොයා මේ වන විටත් සහන කණ්ඩායම් බේරා ගැනීමේ මෙහෙයුම්වල නිරත වී සිටිති.

සෙනසුරාදා උදෑසන ඇති වූ භූමිකම්පාව රික්ටර් මාපකයේ සඳහන් වූයේ මැග්නිටියුඩ් 6.4 ලෙසයි.

Image copyright Europiang Photo Agency

ලක්ෂ විස්සක ජනගහනයක් වෙසෙන 'ටායිනන්' නගරයේ නිවාස අහිමි වූවන්ට තාවකාලිකව රැඳී සිටීමට අවශ්‍ය පහසුකම් ලබා දෙනු ඇති බව තායිවාන ජනපතිවරයා ප්‍රකාශ කළේය.

බේරා ගැනීමේ මෙහෙයුම්

තට්ටු දාහතකින් යුත් මහල් ගොඩනැගිලි සංකීර්ණය කඩා වැටීමත් සමග ගොඩනැගිල්ල තුල සිටි පුද්ගලයන් එකසිය විසි හතර දෙනකු තවමත් සුන්බුන් අතර සිරවී සිටින බවයි බලධාරීන් පවසන්නේ.

Image copyright AP

මේ වන විට සුන්බුන් වලට යටවූ පුද්ගලයන් විසි දෙනකු පමණ මියගොස් ඇති බව සහතික කළ හැකි බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ. ඊට අමතරව පන්සීයකට අධික පිරිසක් අනතුරෙන් තුවාල ලබා ඇති අතර ඉන් අනූ දෙකක් තවමත් රෝහල්ගත ව ප්‍රතිකාර ලබති.

තට්ටු දාහතකින් සමන්විත වූ කඩා වැටුණු නිවාස සංකීර්ණයේ පුද්ගලයන් දෙසිය පනස් හයකට අධික පිරිසක් ජීවත් වූ අතර පසුගිය සිකුරාදා පාන්දර හතරට භූමිකම්පාව ඇති වන විට බොහෝ දෙනා පසු වූයේ නිවෙස් වලයි.

1999 වසරේදී තායිවානයේ මධ්‍යම ප්‍රදේශයේ ඇති වූ භූමිකම්පාවට ගොදුරු වී මරුමුවට පත් පිරිස දෙදහස් තුන්සියයකට අධිකයි.

එම භූමිකම්පාව රික්ටර් මාපකයේ සඳහන් වූයේ මැග්නිටියුඩ් 7.6 ලෙසයි.