සිරියානු සටන් විරාමයට ලෝක බලවතුන්ගේ සහය

Image copyright AFP

සිරියාවේ අවතැන්ව සිටින වැසියන්ට අත්‍යවශ්‍ය සේවා සැපයීම පහසු කිරීම සඳහා ජිනීවා සාකච්ඡා වල නිරතව සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානය උත්සාහ දරමින් සිටියි.

එක්සත් ජාතීන්ගේ මෙම උත්සාහයට රුකුල් දුන්නේ ලෝක බලවතුන් සිරියාවේ යුද සටන් අවසන් කිරීම වෙනුවෙන් ඇප කැප වී කටයුතු කරන බවට පැමිණි තීරණයයි.

මේ වන විට සිරියාවේ සටන් පවතින ප්‍රදේශ වල සිරවී සිටින සාමාන්‍ය වැසියන් වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා සැපයීමට එක්සත් ජාතීන් විසින් කරනු ලබන සිය ගණන් ඉල්ලීම් අතරින් සිරියානු රජය පිළිගනු ලබන්නේ දොළහක් පමණ ප්‍රමාණයක් පමණි.

ඇමරිකා එක්සත් ජනපදය සහ රුසියාව පවසන්නේ සතියක් තුල සිරියාවේ යුද සටන් නැවතිය යුතු බවයි.

කෙසේ වෙතත් ජිහාඩිවාදී කැරලි කණ්ඩායම් වලට එරෙහිව තවදුරටත් ගුවන් ප්‍රහාර එල්ල කිරීමට තමන් බලාපොරොත්තු වන බව රුසියාව පවසයි.

ඇමරිකා එක්සත් ජනපදය කියා සිටින්නේ හුදෙක් සිරියාවේ දේශපාලන තත්වයේ වෙනස්කම් සිදු කිරීමෙන් පමණක් සාම මෙහෙයුම ඉදිරියට ගෙන යාමට හැකි බවයි.