සිරියාවේ සාමයට 'රුසියාව බෝම්බ හෙළීම නැවැත්විය යුතුයි'

Image copyright AFP
Image caption රුසියාව ගුවන් මෙහෙයුම් නොනවත්වන බවට පවතින සැකය හේතුවෙන් තම කණ්ඩායම් දිගටම සටන් කරනු ඇති බවත් සිරියානු කැරලිකරුවෝ පවසති

සිරියාව තුළ සාමය ස්ථාපිත කිරීමට අවශ්‍ය නම් රුසියාව එරට සාමාන්‍ය වැසියන් වෙත බෝම්බ හෙළීම නැවැත්විය යුතු බව ප්‍රංශ අගමැති මැනුවල් වෝල්ස් පවසයි.

සිරියාවේ පවතින ගැටුම් අවසාන කිරීමේ උත්සහයක් වශයෙන් ලෝක බලවතුන්ගේ මැදිහත් වීමෙන් සිකුරාදා ගිවිසුමකට ළඟා වූ අතර ප්‍රංශ අගමැතිවරයා ඉහත කී අදහස් පළ කළේ සෙනසුරාදා මියුනික් නගරයේ පැවති ලෝක නායකයන්ගේ හමුවක් අමතමින්.

සිය ගුවන් ප්‍රහාරවලට ලක් වී සාමාන්‍ය වැසියන්ට හානි වී ඇති බව හැඟවෙන සාක්ෂි කිසිත් නොමැති බවයි මේ අතර රුසියාව කියා සිටියේ.

රුසියාව සහ බටහිර රටවල් අතර පවතින සබඳතා පලුදු වීම හේතුවෙන් ලෝකය නව සීතල යුද්ධයක් දෙසට තල්ලු වී ඇති බව රුසියානු අගමැති දිමිත්‍රි මෙද්වේදෙෆ් මියුනික් නගරයේ පැවැත්වෙන ලෝක නායකයන්ගේ හමුව අමතමින් පැවසීය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ නේටෝ සාමාජික රටවල්, යුරෝපය සහ ඇමරිකාව ඇතුළු කුමන හෝ රටකට අලුතින් තර්ජන ඇති කරන බවට රුසියාවට චෝදනා එල්ල කිරීම දින පතාම පාහේ සිදු වන බවයි.

'සීතල යුද්ධයක්'

Image copyright Getty
Image caption වසර පහකට ආසන්න කාලයක් පවතින සිරියාවේ ගැටුම්වලට ගොදුරු වී 250,000 කට වැඩි සංඛ්‍යාවක් මරුමුවට පත් වී ඇති අතර උන් හිටිතැන් අහිමිවූවන්ගේ සංඛ්‍යාව එක් කෝටි දස ලක්ෂයකට ආසන්නයි

මේ අතර හමුදාමය මැදිහත් වීමකින් සිරියාවේ ගැටුම්වලට විසඳුම් ලබා දිය හැකි යැයි එරට ජනපති බෂර් අල් අසාද් සිතන්නේ නම් ඔහු මුලාවක සිටින බව ඇමරිකාව මීට ඉහතදී සඳහන් කළේය.

ආණ්ඩුවේ හමුදාවලට සහාය ලබා දීමේ අරමුණින් දියත් කරනු ලැබූ ගුවන් මෙහෙයුම් නැවත්වීමට රුසියාව කටයුතු නොකරන බවට සිරියානු කැරලිකරුවෝ සැක පහළ කරති.

ගුවන් මෙහෙයුම් නොනවත්වන බවට පවතින සැකය හේතුවෙන් තම කණ්ඩායම් දිගටම සටන් කරනු ඇති බවත් ඉහත කී කැරලිකරුවෝ බීබීසීයට කියා සිටියහ.

සිරියානු ජනපති බෂර් අල් අසාද් බලයෙන් ඉවත් කළ යුතු බවයි කැරලිකරුවන් අවධාරණය කරන්නේ.

සිය රට කැරලිකරුවන්ගේ පාලනයෙන් සම්පුර්ණ වශයෙන් මුදවා ගැනීමට තමාට අවශ්‍ය බව ජනපති අසාද් මීට ඉහතදී කියා සිටියේය.

වසර පහකට ආසන්න කාලයක් පවතින සිරියාවේ ගැටුම්වලට ගොදුරු වී 250,000 කට වැඩි සංඛ්‍යාවක් මරුමුවට පත් වී ඇති අතර උන් හිටිතැන් අහිමිවූවන්ගේ සංඛ්‍යාව එක් කෝටි දස ලක්ෂයකට ආසන්නයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර