ප්‍රහාරවලට ගොදුරු වන ඇෆ්ගන් වැසියන්ගේ 'වාර්තාගත වැඩි වීමක්'

Image copyright EPA
Image caption සාමාන්‍ය වැසියන් තුන්දහස් පන්සීය දෙනෙකු මරුමුවට පත් වී හත්දහස් පන්සීය දෙනකු තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සඳහන්

ඇෆ්ගනිස්තානය තුළ ප්‍රහාරවලට ගොදුරු වන සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව වාර්තාගත අන්දමින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

2015 වසර තුළ ප්‍රහාරවලට ගොදුරු වූ සාමාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාව සියයට හතරකින් ඉහළ ගොස් ඇති බවයි එක්සත් ජාතීන්ගේ වාර්තා පෙන්වා දෙන්නේ.

එය ප්‍රතිශතයක් වශයෙන් මෙතෙක් වාර්තා වී ඇති ඉහළම අගයයි.

සාමාන්‍ය වැසියන් තුන්දහස් පන්සීය දෙනෙකු මරුමුවට පත් වී හත්දහස් පන්සීය දෙනකු තුවාල ලබා ඇති බව වාර්තාවේ සඳහන්.

2014 වසර හා සැසඳීමේදී මරුමුවට පත් වූවන්ගේ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙන නමුත් බරපතළ මට්ටමේ තුවාල ලැබූවන් සංඛ්‍යාවේ විශාල වැඩි වීමක් දක්නට ඇති බව එක්සත් ජාතීන් පවසයි.

සාමාන්‍ය වැසියන්ගෙන් 62% ක් ආණ්ඩු විරෝධී කණ්ඩායම්වල ප්‍රහාරවලට ගොදුරු වී ඇති බවත් 17% ක් නේටෝ ඇතුළු ආණ්ඩුවට හිතවත් හමුදාවල ප්‍රහාරයන්ට ගොදුරු වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සඳහන්.

වාර්තාවට අනුව දෙපාර්ශවයන් අතර ගැටුම්වලට මැදි වී මිය ගිය හෝ තුවාල ලැබූ සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව 17%ක්.