සිරියාවේ රෝහලකට 'ගුවන් ප්‍රහාරයක්'

Image copyright MSF
Image caption වසර පහකට ආසන්න කාලයක් පවතින සිරියාවේ ගැටුම්වලින් මරුමුවට පත් වී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 250,000 කට අධිකයි

ගුවන් ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් සිය සහාය ඇතිව පවත්වාගෙන යනු ලබන සිරියාවේ පිහිටි රෝහලක් විනාශයට පත් වී ඇතැයි 'එම්එස්එෆ්' දේශසීමා නොමැති වෛද්‍යවරු සංවිධානය පැවසුවේය.

බ්‍රිතාන්‍ය මූලස්ථානය කොට ගත් සිරියානු මානව හිමිකම් නිරීක්ෂණ ආයතනය කියා සිටියේ රුසියානු ගුවන් යානා විසින් ඉහත කී ප්‍රහාරය එල්ල කොට ඇති බවයි.

ප්‍රහාරයට ගොදුරු වී පුද්ගලයන් නව දෙනකු මරුමුවට පත් වී ඇති බවත් එම ආයතනය සඳහන් කළේය.

වයඹ දිග 'ඉඩ්ලිබ්' පළාතේ 'මාරත් අල්-නුමාන් ප්‍රදේශයේ පිහිටි විනාශයට පත් රෝහලේ ඡායාරූප අන්තර්ජාලයේ පළ කොට ඇත.

මේ අතර කුර්දි සන්නද්ධ කණ්ඩායම්වලට ප්‍රහාර එල්ල කිරීම සඳහා ස්වෛරී භාවය උල්ලංඝනය කරමින් සිය රට තුළට තුර්කි හමුදා ඇතුළු වී ඇති බවට සිරියාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කොට තිබිණි.

සිරියාවේ උතුරු පළාතේ කුර්දි කැරලිකරුවන්ගේ පාලනයේ පවතින ප්‍රදේශය තුළට සිය හමුදා ඇතුළු වී ඇති බවට එල්ල වන චෝදනා තුර්කිය ප්‍රතික්ෂේප කරයි.

වසර පහකට ආසන්න කාලයක් පවතින සිරියාවේ ගැටුම්වලින් මරුමුවට පත් වී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 250,000 කට අධිකයි.

උන් හිටිතැන් අහිමිවූවන්ගේ සංඛ්‍යාව එක් කෝටි දස ලක්ෂයකට ආසන්නයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර