'ඉස්ලාම් ධර්මයට අපහාස කළ' පොත් ප්‍රකාශකයකු අත්අඩංගුවට

Image copyright unk

ඉස්ලාම් ධර්මය සම්බන්ධයෙන් පළ කළ ග්‍රන්ථයකින් ආගමට අපහාස වී ඇති බවට චෝදනා ලත් බංගලාදේශ ප්‍රකාශන සමාගමක හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව ඩකා අගනුවර පොලිසිය පැවසුවේය.

ග්‍රන්ථ ප්‍රකාශක ෂාම්සුසෝහා මලික් විසින් ඩකා අගනුවර පොත් ප්‍රදර්ශන භූමිය තුළ පවත්වාගෙන යනු ලැබූ ප්‍රදර්ශන කුටිය වසා දමා ඇත.

ප්‍රකාශකවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බල කොට සිටි ඇතැම් ඉස්ලාමීය දක්ෂිණාංශික කණ්ඩායම් උද්ඝෝෂණ දියත් කරන බවට තර්ජනය තිබේ.

චෝදනාවලට වරදකරු වුවහොත් පොත් ප්‍රකාශක මනික් වෙත වසර දාහතර දක්වා වූ සිර දඬුවමක් නියම වනු ඇත.

මෑත කාලය තුළ බංගලාදේශ අනාගමික බ්ලොග් ලේඛකයන් සහ ප්‍රකාශකයන් ගණනාවක් මරා දැමුණු අතර අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම් විසින් එම ඝාතන සිදු කරනු ලැබූ බවක් පෙනෙන්නට තිබුණි.

ඉහත කී අත්අඩංගුවට ගැනීම සිදු වූයේ බංගලාදේශය තුළ භාෂණයේ නිදහසට බාධා එල්ල වන තත්වයක් වර්ධනය වෙමින් පවතින බවට මත පළ වන අතරතුරයි.