ලොව ලාබම ස්මාට් දුරකතනය ඉන්දියාවෙන්

Image copyright Getty
Image caption ලොව දෙවන විශාලතම ජංගම දුරකතන වෙළඳපොළ ඉන්දියාව වන අතර එහි ජංගම දුරකතන ග්‍රාහකයන් සංඛ්‍යාව කොටි සියයක්

ලොව ලාබම ස්මාර්ට් ජංගම දුරකතනය වෙළඳපොළට නිකුත් කිරීමට ඉන්දීය සමාගමක් සැරසෙයි.

ෆ්‍රීඩම් 251(Freedom 251 )යනුවෙන් නම් කොට ඇති එම ජංගම දුරකතනය ඉන්දීය රුපියල් 500 කටත් වඩා අඩු මිලකට අලවි වනු ඇති බවයි රිගින්ග් බෙල්ස්(Ringing Bells) සමාගම පවසන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුණේ රිගින්ග් බෙල්ස් සමාගම විසින් හඳුන්වා දීමට නියමිත ඉහත කී දුරකථනය ඉන්දීය රුපියල් 251 කට වෙළඳපොළේ මිලදී ගැනීමට හැකි වනු ඇති බවයි.

ගිගාබයිට් 08 ක (8GB) දත්ත ගබඩාවක් සහිත දුරකතනයේ පසු පස සහ ඉදිරිපස කැමරා දෙකකින් සමන්විත බවයි වාර්තා වන්නේ.

ලොව දෙවන විශාලතම ජංගම දුරකතන වෙළඳපොළ ඉන්දියාව වන අතර එහි ජංගම දුරකතන ග්‍රාහකයන් සංඛ්‍යාව කෝටි සියයක් පමණ වෙයි.

අඩු පිරිවැයක් සහිත ජංගම දුරකතන ඉන්දීය වෙළඳපොළ තුළ මේ වන විටත් බහුලව අලෙවි වේ.

පෙරලියක්

'අපේ ප්‍රධාන මාදිලිය 'ෆ්‍රීඩම් 251' ජංගම දුරකතනයයි, අපි හිතනවා එය ජංගම දුරකතන වෙළඳාමේ පෙරලියක් ඇති කරාවි කියලා' රිගින්ග් බෙල්ස් සමාගමේ ප්‍රකාශිකාවක් ප්‍රංශ පුවත් සේවයට ප්‍රකාශ කළාය.

ෆ්‍රීඩම් 251 දුරකතනයේ දෘඩාංග වෙනත් රටවලින් ආනයනය කෙරෙන අතර එකලස් කිරීම පමණක් ඉන්දියාවේ සිදු කෙරෙයි.

කෙසේ නමුත් වසරක් ඇතුළත දුරකතනයේ සම්පූර්ණ නිෂ්පාදන කටයුතු ඉන්දියාව තුළ සිදු කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බවයි රිගින්ග් බෙල්ස් සමාගමේ ප්‍රකාශිකාව පවසන්නේ.

රිගින්ග් බෙල්ස් සමාගම ආරම්භ කෙරුණේ දැනට මාස කීපයකට ඉහතදී.