ගුවනින් බැංකොක් ගමන් ප්‍රවේශමෙන්

Image copyright Getty

බැංකොක් ‘ස්වර්ණභූමි’ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ප්‍රමිතිය නංවාලීමට පියවර ගන්නා මෙන් ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සම්මේලනය(IATA) ඉල්ලීමක් කරයි.

තායිලන්තයේ ‘ස්වර්ණභූමි’ ආසියානු කලාපයේ පිහිටි විශාලතම ගුවන් තොටුපොළ අතරින් එකකි.

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සම්මේලනය(IATA) පවසන්නේ ‘මගීන් පටවා ගත් ගුවන් යානයක් ගමන් ආරම්භ කිරීම සඳහා ධාවන පථයට ඇතුල් කිරීමට පෙර සහ ගොඩ බෑ යානයක් එය ගුවන් තොටුපොළේ නතර කරනු ලබන ස්ථානය කරා පසු කරන මාවත් වල දුර්වල ස්ථාන හඳුනා ගෙන ඇති’ බවයි.

එවැනි දුර්වල තත්වයකට හේතුව එම යටිතල පහසුකම් ඉදි කිරීම සඳහා උපයෝගී කර ගනු ලැබ ඇති අමුද්‍රව්‍ය ආදියේ දුර්වල තත්වය බවයි පැවසෙන්නේ.

Image copyright IATA

එසේම ඔරොත්තු නොදෙන මට්ටමට වැඩි ධාරිතාවක ගුවන් ගමන් පවත්වා ගැනීම සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සම්මේලනය(IATA) ස්වර්ණභූමි ගුවන් තොටුපොළ කළමනාකරුවන්ට අනතුරු ඇඟවීමක් කරයි.

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සම්මේලනය(IATA) මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් ගමන් පරිපාලනය විසින් ද බැංකොක් ‘ස්වර්ණභූමි’ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ප්‍රමිතිය සම්බන්ධයෙන් මෙයින් පෙර කනස්සල්ල පළ කර තිබුණි.

බැංකොක් නගරයේ සිටින BBC වාර්තාකරු ජොනතන් හෙඩ් ප්‍රකාශයක් කරමින් ඉතාම බාල වර්ගයේ තාර යොදා ගනිමින් නිමවා ඇති ධාවන පථයේ වලවල් වසා දමන මෙන් ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සම්මේලනය(IATA)තායිලන්ත බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවයි කියා සිටියේ.

ඇතැම් අවස්ථාවල ගුවන් යානාවල රෝද වලවල් තුලට වැටීමෙන් එම යානා ඉවතට ගැනීමට ඒවා තල්ලු කිරීමට පවා සිදු වෙන බවත් ජොනතන් හෙඩ් පවසයි.

Image copyright AFP

එසේම ආරක්ෂණ ප්‍රමිතීන් අධීක්ෂණය සඳහා අවශ්‍ය තරම් කාර්ය මණ්ඩලයක් නොවීම තායි ගුවන් සමාගම මුහුණ දෙන තවත් අභියෝගයක් වන බවත් BBC වාර්තාකරු පවසයි.