ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බ්‍රිතාන්‍ය යුරෝපා සංගම් සාමාජිකත්වය: ජන මත විමසුම ජූනි මස

එස් එල් සෙනෙහෙධීර

බීබීසී සිංහල

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුළ තවදුරටත් රැඳී සිටිය යුතුද නැතිද යන්න පිලිබඳ පවත්වන ජනමත විචාරණය ලබන ජුනි මාසයේ 23 වෙනිදා පවත්වන බව අගමැති ඩේවිඩ් කැමරන් නිවේදනය කළේය.

ඉතිහාසය තුළ බ්‍රිතාන්‍යය මුහුණ දෙන වඩාත් ම වැදගත් තීරණය ගැනීමට ජනතාවට ලැබෙන අවස්ථාවක් ලෙසටයි අගමැතිවරයා මෙම ජනමත විචාරණය හැඳින්වුයේ. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුළ තව දුරටත් රැඳී සිටිය යුතුයි යන තම අදහසට කැබිනට් මණ්ඩලය එකඟ බව පැවසූ කැමරන් අගමැතිවරයා බ්‍රිතාන්‍යය එකඟ වන්නේ නවීකරණයට ලක් කළ යුරෝපා සංගමයක් තුළ රැඳී සිටීමට බවයි අවධාරණය කළේ.

වාසිදායක යුරෝපය

“අපිට වාසිදායකයි කියල හිතෙන යුරෝපය තුළ අපි තවදුරටත් ඉඳීවි. ඒ ලෝකයේ විශාලතම වෙළඳපළ හසුරුවන රියදුරු අසුන මත, අපේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවත් අප ළඟ තබා ගෙන. ඒ වගේම අපිට අවාසිදායක යුරෝපයෙන් අපි ඉවත් වෙනව. විවෘත දේශ සීමා, අනවශ්‍ය ණය දීම් සහ ‘යුරෝ’ නමැති මුදල් එකකයෙනුත් ඉවත්වෙලා කටයුතු කරන්න අපිට පුළුවන්.” යනුවෙන් ඔහු පැවසුවේය.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුළ තවදුරටත් සිටිය යුතුද නැතිද යන ප්‍රශ්නයේ දී බ්‍රිතාන්‍ය ජනතාව බොහෝ දුරට සම සමව බෙදී ඇති බවයි පෙනී යන්නේ. ඒ අතර බ්‍රිතාන්‍ය විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් පමණක් නොව අගමැතිවරයා අයත් ‘කන්සවර්ටිව්’ පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ද යෝජනා කරන්නේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවටයි.

නිෂේධ බලය

යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් (Donald Tusk) අද ප්‍රකාශ කළේ අගමැති කැමරන්ගේ යෝජනා නැවත වෙනස් කළ නොහැකි නෛතික බැඳීමක් බවයි. ඒ අතර යුරෝපා කොමිසමේ ප්‍රධානී ජීන් ක්ලෝඩ් ජුන්කර් (Jean-Claude Juncker) ප්‍රකාශකළේ මේ යෝජනා අනුමත වීමත් සමග ‘යුරෝ’ මුල්‍ය ඒකකය භාවිතා කරන කලාපයේ කටයුතු වල දී බ්‍රිතාන්‍යය ට නිෂේධ බලය පාවිච්චි කිරීමේ අයිතිය අහිමි වී යන බවයි. බ්‍රිතාන්‍යය ඉදිරිපත් කළ යෝජනා පිළි ගනිමින් ඇන්ජෙලා මර්කල් ජර්මානු චාන්සලර් වරිය පැවසුවේ ඩේවිඩ් කැමරන් අගමැතිවරයාගේ යෝජනාවලිය නිසා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුළ රඳවා ගැනීමේ අවකාශය ලැබෙන බව පැවසුවාය.

ඩේවිඩ් කැමරන් යෝජනා කර ඇති මුලික වෙනස්කම් අතර යුරෝපා සංගමයේ රැඳී සිටීම හේතුවෙන් බ්‍රිතාන්‍ය ජනතාවගේ විවේචනයට ලක්වුණු බොහෝ කරුණු ඇතුළත් වී තිබේ. මෙවන් එක් වෙනස් වීමක් වන්නේ යුරෝපා රටවලින් බ්‍රිතාන්‍යයට රැකියා සඳහා පැමිණෙන්නන්ගේ මව් රටවල ජීවත් වන ළමුන් ට ලැබෙන ළමා සුභ සාධන දීමනාව එම රටේ ජීවන වියදම ට අනුව ගෙවීමයි. මේ ආකාරයට බ්‍රිතාන්‍යයේ සුභසාධක දීමනා ලබා දීම පමණක් නොව යුරෝපා රට වල සිට රැකියා අපේක්ෂාවෙන් බ්‍රිතාන්‍යයට එන පුද්ගලයන් මෙතෙක් නොමිලේ ලබාගත් බොහෝ පහසුකම් සීමා කිරීමද මේ මගින් යෝජනා කරලා තිබේ.

ප්‍රතිලාභ

යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුය යනුවෙන් යෝජනා කරන පිරිස් ඒ සඳහා ඉදිරිපත් කරන හේතු අතර පවුම් බිලියන ගණනක සාමාජික මුදල් ලෙස ගෙවා රඳවා තබා ගන්නා යුරෝපා සංගම් සාමාජිකත්වයෙන් ලැබෙන ප්‍රතිලාභය ප්‍රමාණවත් නැති බව මෙන්ම බ්‍රිතාන්‍යයේ දේශ සීමා රැක ගැනීමට ප්‍රධාන කරුණු ලෙස සැලකේ. යුරෝපා සංගමයේ සාමාජිකත්වය ඇති රටක කෙනෙකුට තවත් සාමාජික රටකට නිදහසේ ගොස් පදිංචි වීමට ඇති හැකියාව හේතුවෙන් බ්‍රිතාන්‍යය ට ඇති බලපෑම ද ඔවුන් සැලකිල්ලට ගෙන තිබේ. ඒ සමගම යුරෝපා සංගමය සමග සමීප සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් අනාගතයේ දී ‘යුරෝපා එක්සත් ජනපදයක්’ බිහි වීමේ හැකියාවක් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එසේම බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුළ රැඳී සිටිය යුතුයැයි පවසන පිරිස ගේ ප්‍රධාන තර්කය වී ඇත්තේ රටට ලැබෙන ආර්ථික වාසියයි. ඔවුන් පවසන්නේ බ්‍රිතාන්‍යය තුළට එන යුරෝපා සංක්‍රමණිකයන් බොහෝ දුරට තරුණ ශ්‍රම බලකායක් බවයි. ඒ මගින් ආර්ථික වර්ධනයක් ඇතිවී මහජන සේවාවන් සඳහා යෙදවිය හැකි විශාල මුදලක් රට තුළ ඉතිරිවන බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ.