හර්යානා විරෝධතා: දිල්ලි අගනුවර ජල සැපයුම අඩාලයි

ඉන්දියාවේ දිල්ලි අගනුවර දැඩි පානීය ජල අර්බුදයකට මුහුණ දෙමින් සිටියි.

දිල්ලි නුවරට යාබද හර්යානා ප්‍රාන්තයේ හට ගත් ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ හේතුවෙන් ජල සැපයුම අඩාළ වී ඇති බවයි වාර්තා වන්නේ.

කුලය පදනම් කර ගෙන වෙනස්කම් සිදු කිරීම නිසා සිය ගෝත්‍රයේ ජනතාවට සමාන රැකියා අවස්ථා සහ අධ්‍යාපන පහසුකම් නොලැබෙන බව පවසන 'ජාත්' කුලයේ ප්‍රජාව දින ගණනාවක් මුළුල්ලේ මෙහෙයවූ උද්ඝෝෂණ වලින් පසු ගිය සිකුරාදා සිට මේ දක්වා පුද්ගලයන් නමදෙනකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Image copyright AFP

දිල්ලි නුවරට ජලය සපයන ප්‍රධාන මාර්ගයක් වන මුනාක් ඇල අසල පිහිටුවා ඇති ජල පොම්ප වලට විරෝධතාකරුවන් විසින් සිදු කළ අලාබ හානි හේතුවෙන් මෙලෙස ජල සැපයුම අඩාල වී තිබේ.

මේ හේතුවෙන් නගරය තුල ජලය බෙදා හැරීම සලාක ක්‍රමයකට අනුව ඉතා අරපරිස්සමෙන් සිදු වන අතර දිල්ලි බලධාරීන් පවසන්නේ අද දිනය තුල බොහෝ ප්‍රදේශ වලට සම්පූර්ණයෙන්ම ජලය සැපයුම අඩාල විය හැකි බවයි.

කෝටා ක්‍රමය

Image copyright Anoop Thakur

සඳුදා දිනයේ දිල්ලි නුවර සියලුම පාසල් වසා දැමීමට නියෝග කර ඇති අතර හර්යානා ප්‍රාන්තයේ පොලිස් රථවාහන, රජයේ ගොඩනැගිලි සහ වෙළඳ සංකීර්ණ ගිනි තබමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන විරෝධතාකරුවන් මැඩපැවැත්වීම පිණිස යුද හමුදාව කැඳවා තිබේ.

ඉන්දියාවේ පහත් කුලයේ යැයි සැලකෙන ජන ප්‍රජාව වෙනුවෙන් කෝටා ක්‍රමයක් ක්‍රියාත්මක වන අතර එමගින් ඔවුන්ට රජයේ රැකියා සහ අධ්‍යාපන අවස්ථා වෙනුවෙන් අනිවාර්ය ස්ථාන වෙන් කිරීමක් සිදු කරනු ලබයි.

‘ජාත්’ ගෝත්‍රය ඉන්දියානු කුල ක්‍රමය තුල ඉහල යැයි සැලකෙන නමුත් ඔවුන් කියා සිටින්නේ ඉන්දියානු රජය මගින් ක්‍රියාත්මක කෙරෙන කෝටා ක්‍රමය සිය කුලයටත් ලබා දිය යුතු බවයි.